2015-02-13

ඇනොනිමසයන්ගේ ජාත්‍යාලය

ඇතැම් පාසල් ශිෂ්‍යයන් ඉත සිතින් විශ්වාස කරන්නේ ගුරුවරුන් විසින් තමන්ට දඬුවම් කරනු ලබන්නේ තමා සමග ඇති යම් කිසි ද්වේශයක් නිසා බවයි. එසේ ද්වේශ සහගතව සිසු දරුවන්ට දඬුවම් දෙන ලද හුදෙකලා සිද්ධීන් තිබෙන්නට හැකි නමුත් පොදුවේ පාසල් ගුරුවරුන් සිසුනට වේවැල් පහරකින් සංග්‍රහ කරන්නේ යහපත් චේතනාවකිනි. එම දඬුවම් කලාවේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන් තිබුනත්, වේවැලෙන් පහර කෑම ඇතැම් අනුමත දඬුවම් වලට වඩා යහපත් බව සිතන්නෝද සිටිති.

සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වන්නේ අන් අයගේ ආශාවන් තමන්ගේ ආශාවන්ට සමාන බව උපකල්පනය කිරීමයි. මේ එවැනි එක් කතාවකි.

එක්තරා තරුණයෙක් ජීවිතය ගැන කළ කිරී සිය දිවි නසාගැනීමට තීරණය කරයි. ඒ සඳහා සුදුසු ක්‍රමය ලෙස ඔහු තීරණය කරන්නේ උස ගොඩනැගිල්ලක ඉහළ මහළින් බිමට පැනීමයි. සිය තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනැගිල්ලක ඉහළ මහළෙහි ජනේලයක් අසල සිටගත් තරුණයාට ඈත සිට නටමින් එන පුද්ගලයකු පෙනේ. තව දුරටත් විමසිලිමත් වන ඔහුට පෙනෙන්නේ ඒ පුද්ගලයා අත් දෙකම අහිමි වූ තරුණයකු බවය. සිය අත් දෙකම අහිමිව තිබියදී ඉතාමත් විනෝදයෙන් නටමින් ඇවිදින පුද්ගලයා දැකීමෙන් සිය තීරණය පිළිබඳ දෙවරක් සිතන්නට කල්පනා කරන ආත්ම ඝාතක අපේක්ෂාවෙන් පෙළෙන්නා ගොඩනැගිල්ලෙන් බිමට බැස උක්ත නටමින් ගමන් කරන තරුණයා වෙත ළං වෙයි.
මල්ලි, මේ අත් දෙකම නැතුවත් ඔයා කොහොමද ඔය විනෝදෙන් ඉන්නෙ?“
විනෝදෙන්? තමුසෙට පිස්සුද?“
මං දැක්කනෙ ඔයා නට නටා පාරෙ ඇවිදගෙන එනව
මගුලක් කතා කරනව. මං මේ පුක කහගන්න විදිහක් නැතුව දඟලන්නෙ. තමුසෙ හිතුවද මං මේ නටනවයි කියල?“
සියල්ල මුදලින් මනින්නට පුරුදු වූ අය සිතන්නේද අන් සියළු දෙනා වැඩ කරන්නේ මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙන්ම බවය. එවැන්නකු “පිංකමක්“ සූදානම් කරන්නේත් මුදල් කෙසේ වෙතත් ප්‍රසිද්ධිය සහ ගරු නම්බුව උපයාගැනීමේ චේතනාවෙන්මය.

මේ සියල්ල කියන්නට සිතුනේ එක්තරා “අදහසක්“ පළ කර තිබෙනු දැකීමෙනි.

අප විසින් ආරම්භ කරන ලද සිංහලයේ අපූරුවබ්ලොගයට ඇනොනිමසයකු විසින් අමුතු ආකාරයේ කමෙන්ටුවක් එවා තිබිනි. අශීෂ්ට, අශීලාචාරවූත් කුහකවූත් ජාතිවාදයට එරෙහිව අප විසින් පළ කරන ලද ලිපි කියවා උරණ වී ඇති මේ ඇනොනිමසයා සිය රුධිර පීඩනය තුලනය කරනු වස් මේ අදහස පළ කර ඇති බව මගේ අදහසයි. මේවාට පිළිතුරු බැඳීමෙන් ඇති පලක් නොමැති නමුත් ඒ අදහස හිසේ දරාගෙන ඉන්නා සියළු දෙනාගේ සත්‍යාවබෝධය වෙනුවෙන් මේ සටහන තබන්නට තීරණය කළෙමි. කමෙන්ටුව මෙසේය:

Anonymous - Sunday, February 1, 2015 at 2:01:00 AM GMT+5:30
මම නම් කියන්නේ මේ ඔයා කරන වැඩේ කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි කියලා.මොකද, ඔයා සහ ඔයාගේ පරමාදර්ශය වන මාතලන් ගොයියා කියන පරිදි ලංකාවේ ගමේ බයියන් සහ ගෝත්‍රිකයින් කරන කියන දෙය එතරම් වැදගත් නැහැ.මේ භාශා,සිරිත් විරිත්, රටට ආදරය කිරීම, බුද්ධාගම වගේ දේවල් හරිම පසු ගාමීයි. පොශ් නැහැ.මේක හරියටම තේරෙන්න ඔයාත් කොහොම හරි හෑට ගාලා පිටරට රස්සාවක් හොයා ගන්න .රට යන බහුතරය රටට ආදරෙයි.ඒත් ඔයාලා වාගෙ ගොඩක් වෙන්ඩ පොශ් අය රට ගියාම,මුල අමතක වෙලා සුද්දටත් වැඩියෙන් මල්ටි කල්චරල් වෙන්න ගන්නවා. ඊලඟට මුස්ලිම් දෙමල අය රට කඩා ගත්තම මොකෝ,උන් ජාතිවාදී වුනාම මොකෝ,අපි ජාතිය ගැන කතා කරන්නෙ මොකෝ,ආදී වශයෙන් පොශ් දේවල් හිතෙන්න ගන්නවා.
යුද්දෙ කරපු එකත් වැරදි වෙනවා.සිංහල භාශාව අපි බලා ගන්නම්.මොකද අපි පසු ගාමී,ජාතිවාදී ,ලේ මාපිල්ලු නිසා.ඔයා ගිහින් සිංහල බෞද්ධයාට බැනලා තව ඩොලර් ටිකක් හොයා ගන්න විදියක් බලා ගන්න.එනවා මෙතන ප්‍රාදේශීය ව්‍යවහාරෙ හොයන්න.

යුද්ධය තමන් විසින් කරන ලද්දක් සේ කතා කරන මේ ඇනොනිමසයා සිංහල භාෂාව ගැන බලාගන්නට හදන්නේ භාෂෘව යන වචනයවත් නිවැරදි ලෙස නොලියමිනි.

මල්ටි කල්චරල්වීමෙන් සහ ජාතිවාදයට එරෙහිව කතා කිරීමෙන් ඩොලර් උපයාගැනීමට හැකියාවක් ඇතැයි මතවාදයක් වපුරන ලද්දේ කවුරුන් විසින්දැයි නිශ්චිතවම කීමට නොදනිමි. ජාතිවාදය කරපින්නාගත් මේ කාලකන්නින්ගේ මතය සිංහල ජාතියේ පොදු මතය ලෙස යම් කිසිවකු වටහාගැනීමෙන් සිදුවන්නේ කුමක්දැයි කියා මධ්‍යස්ථව, අගතියකින් තොරව විග්‍රහ කර බලන්නට උත්සාහ කරමු.

අතිශය ආත්මාර්ථකාමී වූත්, තමා යටතේ තවත් කිසිවකු සිටිය යුතු බව සිතන්නා වූත් පුද්ගලයකු ගැන සිතන්න. ලෝකයා විසින් ඔහු ප්‍රිය කෙරේද? ඔහු හා මිතුරු සමාගමක් පවත්වාගෙන යන්නට කිසිවකු ඉදිරිපත් වේද? කොහෙත්ම නැත. සියල්ලන් විසින් ඔහු බැහැර කරනු ඇත. ඔහුට ජීවත් වන්නට සිදු වන්නේ සියළු අවශ්‍යතා තනිවම ඉටුකරගැනීමට උත්සාහ කරමිනි. කිසිවකු ඔහුට උදව් නොකරනු ඇත. කිසිවකු ඔහුට යමක් දෙනු ඇත්තේ ඊට වැඩි දෙයක් ප්‍රතිඋපකාරයක් ලෙස බලාපොරොත්තු වෙමිනි.

එවැනි පුද්ගලයකු ඒ අභාග්‍යයෙන් ගලවාගැනීමටනම් කුමක් කළ යුතුද? ඔහුගේ අමන ප්‍රතිපත්තියේ වැරදි අඩුපාඩු ඔහුට පෙන්වා දිය යුතුය. එසේ පෙන්වා දී ඔහු යහපත් පුද්ගලයකු බවට පත් කළ යුතුය.

එසේ කිරීීමේදී ඔබට කිසිවකු ඩොලර් නොදෙනු ඇත. ඔබට ඔහු එරෙහි වනු ඇත.

ඇතැම් විට ඔබගේ උත්සාහය අපතේ යාමට ඉඩ ඇත. එහෙත්, ඒ අවාසනාවන්තයා ඔබගේ ඥාතියකු නම්, ඔබ උත්සාහය අත් නොහරිනු ඇත.

සිංහල ජාතියේ නාමයෙන් මොවුන් මේ ගෙනයන කුහක සහ අමන ප්‍රතිපත්තියට විරුද්ධ වන්න.

4 comments:

  1. ගෝත්‍රිකයෙක් කියලා කොමෙන්ට් එකෙන්ම පේනවා නේ බං... ඔය මෝඩයන්ට පිණුම් ගහන්න බැරිවෙන්න තමයි මම ඇනෝ කොමෙන්ට් වහලා තියෙන්නේ.. ඇනෝ ලෙස ඇවිල්ලා ගහන්නේ කොන්දක් නැති, බ්ලොග් ලියන පොන්නයෝ... වෙන කාටවත් මේ වගේ මඩ ගහන්න පිස්සු නෑ.. හැබයි මම නම් මේවට පට්ට ලයික්..

    ReplyDelete
  2. Ekeliyen une Apitath Ano Kotanna beri wechcha ekai.(Ranjan)

    ReplyDelete
  3. මම සිංහලෙන් ලියන්නේ සින්හල භාෂාවට ආදරේ නිසා. මගේ පළමු නව කතාවල් කෙට් කිතවල් නවයුගය පත්තරේ කියෙව්වේ සිංහලෙන්. අම්ම තාත්ත එක්ක කතා කලේ සිංහලෙන්. මොන රටේ ගියත් ඒ මතකයන් නැති වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉතින් මාත් එහෙමම තමයි.
      ඒක නෙවෙයි ප්‍රශ්නෙ. සිංහල භාෂාවට හා සිංහල ජාතියට ආදරේ නිසා තමයි අපි ඒව පාවිච්චි කරන අයගෙ වැරදි අඩුපාඩු හදන්න උත්සාහ කරන්නෙ.
      සිංහලයෝ ශ්‍රෙෂ්ට ජාතියක් කියල අනිත් ජාතිකයන්ගෙන අහන්න ලැබෙනවනම් ඒක හරිම සතුටක්.
      ඒත් ඒක අපි විතරක් කියාගත්තට වැඩක් තියනවයැ.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.