2015-02-01

යහපාලනය තෙවරක් පෙරමුද?

මහින්දට කඩේ ගිය සහ යන සත්‍යය වෙබ් අඩවියේ “මෙන්න තවත් යහපාලනයක්“ යනුවෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ සිදු වූ අලකලංචියක් ගැන ලිපියක් පල කර තිබිනි. එහි කියැවෙන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගතහොත් මෙවැනි අළුගුත්තේරු වැඩ තව තවත් සිදුවීමට ඉඩ ඇති බව ය. එය තරමක සත්‍යයකි.

තෙවරප්පෙරුමලා එක්සත් ජාතික පක්ෂයේ බොහෝ සිටිති. ඉස්සරනම් එහි වැඩිපුර සිටියේ තෙවරප්පෙරුමලාය. දැන් ටිකක් අඩුය.

එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නැගීම මා ඇතුළු බොහෝ දෙනකුගේ කණගාටුවට හේතු වූ කරුණක් වී ඇත. එසේ වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානය වූකලී අප හඳුනාගෙන සිටි අහිංසක ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා අතිශයින්ම කුරිරු වූත්, ප්‍රතිගාමී සහ වැඩවසම්වාදී වූත්, පොදු ජනතාව කෙරෙහි අල්ප මාත්‍ර වූ හෝ අනුකම්පාවක් නොදක්වන්නා වූත් පෙරමුණක් බව පසුගිය අවුරුදු තුන හතරේදී අපට පසක් විය. වඩා හොඳ දේ වෙනුවට අඩුවෙන් නරක දේ තෝරාගැනීමට ජනතාවට සිදු වී ඇත්තේ එම නිසාය.

යහපාලනය යනු අන් කිසිවක් නොව ප්‍රතිපල නෙලා ගැනීමයි“ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී Momentum නමැති ව්‍යාපාරික හමුවේදී පවත්වන ලද කථාවකදී සඳහන් කළ බව ප්‍රවෘත්ති පත්‍ර වලින් වාර්තා විය. අද ලෝකයම ඉල්ලා සිටින “යහපාලනය“ මෙලෙස ලඝු කරමින්, අවමානයට ලක් කරමින් කථා කළ මහින්ද රාජපක්ෂ මහතා නිර්මල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සංධානය නමැති මඩ ගොහොරුවේ ගිල්වා දමා ඇත. එවැනි තත්වයකදී තවදුරටත් එක්සත් ජනතා නිදහස් සංධානයට පක්ෂපාතී වී සිටීමට නොහැකි බව හැඬූ කඳුලින් යුක්තව දන්වා සිටින්නට කැමැත්තෙමි.

ලෝකය ඉදිරියට යන්නේය. එම ගමන කිසිවකුට නවත්වාලීමට නොහැකිය. ඒ ඉදිරි ගමනේ වේගය ඝාතීය ශ්‍රීතයක ආකාරයෙන් වර්ධනය වන්නේය. තවදුරටත් පැහැදිළි කරන්නේනම්, ඊයේ එකක් වූ දේ අද දෙකක් වේනම් හෙට එය තුනක් නොව හතරක් වනු ඇත. අනිද්දා අටක් වනු ඇත. ලෝකය දියුණු වන්නේ එලෙසිනි. එම ලෝකය තාක්ෂණය ද කළමනාකරණය ද දර්ශනවාදයද යන සෑම අංගයකින්ම ඉදිරියට දිව යයි. මිනිසාට නිදහස අවශ්‍යය. කතා කිරීමේ නිදහස, සිතීමේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස මිනිසාට අවශ්‍යය. ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරණ කටයුතු ම මොන තරම් අශික්ෂිතදැයි බලන්න. එම ප්‍රචාරණ ව්‍යාපාරය පමණක් වුවත් හිතන මතන මිනිසකුට සන්ධානය එපා කරවන්නට ප්‍රමාණවත් වනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මැරබලය මට හොඳින් මතක තිබේ. මේ ගැන පෙර අවස්ථාවකදීත් මා සඳහන් කර ඇත. එහෙත්, තැන් තැන් වලින් තෙවරප්පෙරුමලා මතු වන නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් අද වන විට පෙර කාලයට වඩා බෙහෙවින් සංවර වී ඇති බව පැහැදිළිව පෙනෙන කරුණකි. මේ තත්වය තුළ යහපාලනය සම්බන්ධයෙන් දැඩි කැපවීමක් සහිත වූ චම්පිකලා, රතන හාමුදුරුවන්ලා පමණක් නොව අනුර කුමාරලාත් තව ටිකක් ඉදිරියට පැමිණිය යුතු බව මගේ විශ්වාසයයි. පරණ වංචා දූෂණ හෙළි කිරීමෙන් සෑහීමට පත් නොවී අද සිදුවන දූෂණ ගැනත් හඬක් නැගිය යුතුය. තව ඉතිරිව ඇත්තේ දවස් හැත්තෑ ගණනකි.

“අප‍්පමාදො අමතපදං - පමාදො මච‍්චුනො පදං“.

5 comments:

  1. දින සීය කියන්නේ පොරොන්දු පත්‍රයක් මිසක් නීතියක් නෙමෙයි.. අපේ රටේ උන් කවද්ද පොරොන්දු ඉටු කළේ. කවද්ද වෙලාවට වැඩ කලේ.. ඒත් තිබුන තත්වයට වඩා දස දහස් වාරයක් හොඳයි මේක.. ඒකම ඉල්ලන්නේ.. එකක් ලැජ්ජාව.. තව එකක් පෙරේතකම, අනික ගොන් කම..

    ReplyDelete
    Replies
    1. මහින්දට චන්දෙ දුන්නු අය හිතුවෙ නෑ ආණ්ඩුව දැනට අරන් තියන පියවරයන්වත් ගනියි කියලවත්, කෝටි ගණන් දූෂණය හෝ නාස්තිය හෙළිදරව් වෙයි කියලවත්. දැන් කියන්න දෙයක් නැති නිසා තමයි දින සීයෙ ටාගට් එක ගැන ම කතා කරන්නෙ. ඒ අස්සෙ පාරෙ අඹ ඇටයක් වැටිල තිබල කවුරුහරි ලිස්සල වැටුණත් ඒක යහපාලනයෙ අඩුපාඩුවක් හැටියට තමයි දකින්නෙ.

      Delete
  2. Double Distilled දන්නවා. Triple Distilled කොහොම ඇත්ද?

    ReplyDelete
  3. //එක්සත් ජාතික පක්ෂයේ මැරබලය මට හොඳින් මතක තිබේ//

    මෙන්න මේක තමයි අපිත් කියන්නේ.... ඒක්සත් ජාතික පක්ෂය කියන්නේ බබෙක් නෙමෙයි.. ඉතින් අපි කරපු වෙනස සැබෑ වෙනසක් කර ගැනීමට සක්‍රීය ව මේකට දායක විය යුතුයි.. හරි වැරදි සොයා බැලිය යුතුයි.... නැත්තං අරක ම වෙයි.....

    ReplyDelete
  4. ඉස්සරනම් ජනාධිපතිත් තෙවරප්පෙරුමගෙ මොඩ්ල් එකේම තමයි

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.