2014-10-18

පෙට්ටිය කැඩුනා කියා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වෙත පැමිණිල්ලක්

මැතිවරණයක් පිළිබඳ අදහසක් තුන් හිතකවත් නැති වෙලාවක ගෘහස්ථ පාරිභෝගිකයාගේ ලයිට් බිල සීයට විසි පහකින් අඩු කරන ලදී. (ගෘහස්ථ පාරිභෝගිකයා යනු ඒකීය පුද්ගලයා වැනි දෙපා සත්වයෙකි.) හදිසි නියෝගයක් මත කැරුණු මේ මිල අඩුකිරීම සම්බන්ධයෙන් මණ්ඩලය බරපතළ අර්බුදයකට මුහුණ පාන්නට ඇත්තේ ඔවුනට ලැබෙන ආදායම හදිසියේම පහත වැටීමට ඉඩ ඇති නිසා නොව අතිශය සංකීර්ණ ගණිත සූත්‍ර හරහා සකස් කරනු ලබන විදුලි බිල හෙවත් ලයිට් බිලකින් සීයට විසිපහක් අඩු වන පරිදි ගාස්තු ක්‍රමයක් සකස් කිරීමේ අපහසුතාව නිසායැයි සිතමි.කෙසේ නමුත්, මණ්ඩලයේ නිලධාරීන් විසින් ඒ අභියෝගය ජයගෙන ඇති බව පෙනේ. හැම ගෘහස්ථ පාරිභෝගිකයාටම හරියටම සීයට විසි පහක් අඩු වන්නේ නැති වීමට ඉඩ ඇති නමුත් අවම වශයෙන් සීයට විසි හතර හමාරක් වත් අඩු වන පරිදි ඉතා ප්‍රශංසනීය ලෙස නව අය ක්‍රමය සකස් කර ඇතැයි කුහක නොවී බලන අයකුට පෙනී යනවා ඇත.

කෙසේ වුවද, නව අය ක්‍රමය සම්බන්ධයෙන් සමහර ගෘහස්ථ පාරිභෝගිකයන් තුළ මනා වැටහීමක් නොතිබුනු බැව් පෙනී ගිය නිසා හෝ ළඟකදී මැතිවරණයක් පැවැත්වීමට ඉඩ තිබීම හැර වෙනත් හේතුවක් නිසා, මණ්ඩලයේ නියෝජ්ය සාමාන්‍යාධිකාරවරයකු සමග පවත්වන සාකච්ඡාවක් සජීව ලෙස ප්‍රචාරය කිරීමට එක්තරා ගුවන් විදුලි සේවාවක් කටයුතු යොදා තිබිනි. බිල සකස් කරන ආකාරය පිළිබඳ නොයෙකුත් ප්‍රශ්න දුරකථන මගින් යොමු කර තිබුනු අතර ඒවාට සාර්ථක ලෙස පිළිතුරු ලබාදුන් උසස් නිලධාරීතැනට මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුම්වත් බවක් ඇතැයි පෙනී ගියේය.

මේ අතරවාරයේ එක් කාන්තාවක් නැගූ ප්‍රශ්නයක් වූයේ සිය ඉඩම මැදින් ඇද ඇති විදුලි රැහැන් නිසා නිවස ඉදිකිරීමේ අපහසුතාවක් ඇති වී තිබෙන බැවින් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්නයි. එහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිළි කරන ලදී. තවත් අයකුට තිබුනු ප්‍රශ්නය නම් සිය නිවසේ (සමාවෙන්න, ගෘහ ඒකකයේ) සවි කර තිබුනු විදුලි මීටරය ආපදා වූ බව කියා මණ්ඩලයෙන් නව මීටරයක් සවි කළ පසු විදුලි බිල රුපියල් තුන්සිය ගණනක සිට අටසිය ගණනක් දක්වා වැඩි වීමය. ඔහුගේ ප්‍රශ්නය වූයේ විදුලි බිල වැඩි වීමට හේතුව අළුතින් සවි කරන ලද මීටරයදැයි යන්න ය. නිවසේ ජීවත් වන්නේ තමා සහ බිරිඳ පමණක් බැවින් එතරම් අධික විදුලි ඒකක ගණනක් පාරිභෝජනය වන්නේ නැති බවත් ඔහු වැඩි දුරටත් පැහැදිළි කළේය. (හෙනහුරා කුඩා කාලයේ ජීවත් වූ ගෘහ ඒකකයේ විශාල ගණනක් ජීවත් වූ නමුත් රූපවාහිනී යන්ත්‍රයක් නොතිබීම, ශීතකරණයක් නොතිබීම, පොල්කටු අඟුරු ඉස්තිරික්කයක් පාවිච්චි කිරීම, දර ලිප් භාවිතය ආදිය නිසා මාසයකට දවන ලදදේ විදුලි ඒකක විසි අටක් තිහක් වැනි ගණනක් වූ බව මෙහිදී හෙනහුරාට සිහි විය)

මෙම ප්‍රශ්න දෙකම යොමු කළ යුතුව තිබුනේ අදාළ ප්‍රාදේශීය කාර්යාලයන් වෙත බව එහිදී පැහැදිළි වූ කාරණයයි. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන මෙවැනි පොදු වැඩසටහනකදී තමන්ගේ පෞද්ගලික ගැටළුවක් දුරකථනයෙන් විස්තර කරන අයෙකුට එම වැඩසටහනට සවන් දෙමින් සිටින තවත් ලක්ෂ කෝටි ගණනකගේ යහපත උදෙසා යමක් කළ හැකියැයි සිතා කටයුතු කිරීමට හැකිනම් ඉතා අගනේය. එහෙත්, ඔවුනට තමන් කතා කරන ආකාරය රටටම ඇසෙන බව මොහොතකට අමතක වී යන බව පෙනෙයි. කොකා ඉගිලෙන විට උගේ සුදු පාට පෙනෙන්නාක් මෙන් අප කතා කරන විට අපේ යම් යම් ගති සහ ගුණ ලෝකයට පෙනෙනවා නොවේද?

මෙම සාකච්ඡාව සවනට වැටෙමින් තිබෙන අතරතුරදී ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ මනස ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් හැඟීමක් ඇති කර ගැනීමට හෙනහුරාට හැකි විය. මේ අතරවාරයේ යොමුවුනු ඊ ළඟ දුරකථන ඇමතුමෙන් කියැවුනේ තම ගෘහ ඒකකයේ සවි කර තිබුනු මීටරය ආරක්ෂා වීමට යොදා තිබුනු පෙට්ටිය කැඩුණු පසු අළුතින් පෙට්ටියක් යෙදීමට මණ්ඩලය උනන්දුවත් නොදක්වන බවයි. කළින් යොදා තිබුනු පෙට්ටිය බාල ලීයෙන් සාදා තිබුනු බවත් ඔහු පැමිණිලි කළේය. පරිණත නිලධාරීයා සියළුම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් අවම වශයෙන් ප්‍රශ්නය නැගූ අයගේ දුරකථන අංකය සහ ලිපිනය හෝ ඉල්ලා ගැනීමට තරම් කාරුණික විය.

හෙනහුරාට මේ සිද්ධිය ගැන ලියන්නට සිතුනේ එක්තරා විශේෂ හේතුවක් නිසා ය. එනම්, අපේ රටේ ආයතනගතව පවතින එක්තරා දුර්ගුණයක් මේ සාකච්ඡාව හරහා ඉස්මතු වීමයි. මහ රජතුමාගේ ඇමති මණ්ඩලයේ සිට පහළට යන විට සී සී මහත්තයාගේ කාර්ය මණ්ඩලය දක්වා ඇති සෑම ආයතනයකම ඇති මේ දුර්ගුණය නම්, වැඩක් කරවාගන්නට මහ එකාම අල්ලා ගන්නට සිදු වීමය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් නම්, ඇතැම් ආයතනයන්හි ඉහත කී දුර්ගුණය නැති වුවත් හැම තැනම ඇති තත්වය ගැන පොදුවේ සිතන මහජනතාව එවැනි හොඳ ආයතනයකින් වුවත් වැඩක් කරගන්නට එහි ඉහළම නිලධාරියා හමු වීමට දැඟලීම නිසා ඇති වන අනවශ්‍ය හිරිහැරයට වගකිවයුතු වන්නේ ද ඉහත කී ආකාරයට මහ තැනින් අණ නොලැබුනොත් වැඩ නොකරන අලස කාර්ය මණ්ඩලයන්හි සාමාජිකයන්ම බවය.

මී ළඟට බලාපොරොත්තු වන්න: සිංහලයන් හා හෙළයන්

3 comments:

  1. /*කමෙන්ට් පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම එය ලියා එවන්නා සතු ය. */

    සහතික ඇත්ත.

    ReplyDelete
  2. කකෝ ඔයා අර පැරාගේ බ්ලොගේදී කිච උනා වගේ මෙතනත් කිච වෙන්න එපා. පව් නොදී මාරුවෙන්න

    ReplyDelete
  3. Den,anonymous,Pathalayakuth thiyenawada?

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.