2014-02-16

වූවේ ආරක්ෂාව සහ සම්මත දේ භාවිතා කිරීම

මේ කොහෙන් ආපු මාතෘකාවක්ද?
මෙන්නමෙතනින්.

මිනිස්සු පොදුවේ කරන, එහෙමත් නැත්නම් එක් අයකුට වැඩි දෙ‍නකු විසින් කරන නොයෙකුත් වැඩ වලදී "සම්මතයක්" ඒ කියන්නෙ "ස්ටෑන්ඩර්ඩ් එකක්" හදාගෙන පාවිච්චි කරනවා. එහෙම කරන්නේ, ඒ එක එක්කෙනා එකම වැඩක් විවිධ ආකාර වලට කරන්න ගියාම ඒ කරපු දෙයින් ප්‍රයෝජනය ගන්න අය අපහසුතාවට පත් වෙන නිසයි. උදාහරණ වශයෙන් ගත්තොත්, දිග මනින්න, දුර මනින්න, වෙලාව මනින්න, ගිණුම් පවත්වාගෙන යන්න, මේ ආදී දේට ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේදයන් භාවිතා කරනවා. එහෙම කළාම, තවත් කෙනකුට ඒ කළේ මොකක්ද කියල අපහසුතාවකින් තොරවම තේරුම් ගන්න පුළුවනි. එහෙම තේරුම් අරගෙන පාවිච්චියට ගන්න පුළුවනි.

මං අද උදේ පාන් බාගයක් කෑවා කියල කවුරුහරි කිව්වොත්, එයා පාන් කොච්චර කෑවද කියල හැඟීමක් ඇති කරගන්න අපි කාටත් පුළුවනි. ඒ හැඟීම නිසා, අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නැවත දවල් දොළහ විතර වෙනතුරු නැවත එයාට කෑම අවශ්‍ය නොවන බවට. ඒත් එයා සම්මතයන් ගණන් නොගන්නා කෙනකුනම්, එයා උදේට කාල තියෙන්නෙ පාන් අවුන්ස බාගයක් වෙන්නත් පුළුවනි. උදේ නමය වෙද්දී ආයෙත් බඩගිනියි කියල කෙඳිරි ගාන්න පටන් ගනීවි.

මං මාතෘකාවෙ මුල කෑල්ල උපුටගත්තෙ අර ලින්ක් එකක් දාල තියන ලිපියෙන්. ලිපියෙ ඒ කෑල්ල මෙහෙමයි.

ආණ්ඩුවක් යනු සෑම පුද්ගලයාටම තම සහ තමන්ගේ වූවේ ආරක්ෂාව සලසා ගන්නට ඉඩක් ලැබෙන ලෙසින් යුක්තිය හා ආරක්ෂාව රජයන්නට ඉඩක් ලබාදීම සඳහා ස්ථාපිත කරගත්තකි.

ඒ කියල තියෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න උත්සාහ කරන කෙනකුට, තමන් ඒ කාරණය ගැන කළින් අහල දැකල තියන දේ අනුව මොකක් හරි අදහසක් ගන්න පුළුවනි. ඒත්, ලිපිය කියවපු හැම දෙනාම එකම අදහස ගන්නව කියල හිතන්න නම් අමාරුයි.

 මේ අටුවාව ලියන්න පටන් ගත්තට, මට ඕනැ වුනේ "ආණ්ඩුව" කියන එක ගැන යම් අදහසක්, ඒ ලිපියෙ තියන බව පේන විකාර අදහස් වලට පටහැණි අදහසක් ඉදිරිපත් කරන්නයි. අනිත් එක, අද වෙනකොට අපට පෙනෙන්න තියන දේ තමයි, අපට ඕනැ නිසා ආණ්ඩුවක් පත් කරගෙන ඉන්න තත්වයක් වෙනුවට ආණ්ඩුවට ඕනැ නිසා, ආණ්ඩුවට ඕනැ විදිහට අපි ඉන්න තත්වයක්  නිර්මාණය වී තිබීම.

ආදි කාලයේ මිනිස්සු ජීවත් වීමේ පහසුව සඳහා කණ්ඩායම් ගත වෙලා තියනවනේ. තනියෙන් දඩයම් කරන්න අමාරු ලොකු සත්තු දඩයම් කරන්න පහසුයි කණ්ඩායමක් හැටියට වැඩේට බැස්සහම. ඒ වගේම, කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා ඉන්නකොට වෙනත් සත්තුන්ගෙන් ඇති වන උපද්‍රව වල‍ට මුහුණ දෙන්නත් පහසු වෙනවා. මෙහෙම කණ්ඩායම් වශයෙන් එකතු වුනාට පස්සෙ අනිවාර්යයෙන්ම නායකයෙක් අවශ්‍ය වෙනවනෙ. නැතිනම්, කණ්ඩායම ඇතුළෙ ඇතිවන ගැටුම් සමතයකට පත් කරගන්න බැරි වෙලා කණ්ඩායම බිඳවැටෙනවා.

ඒ විදිහට අවශ්‍ය වුනු කණ්ඩායම් නායකත්වය තමයි පසු කාලයේදී ආණ්ඩු බවට පත් වෙන්නේ. මේ ගැන නොයෙකුත් සමාජ විද්‍යාඥයන් විවිධාකාර මති-මතාන්තර ඉදිරිපත් කරල තියනවනෙ. ඒ වගේම, ලෝකයේ පවතින විවිධ වර්ගයේ ආණ්ඩු ක්‍රම ගැන මේ සමාජ විද්‍යාඥයන් පැහැදිළි කිරීම් කරල තියනව. අපට පුළුවනි මේ පැහැදිළි කිරීම්, අපැහැදිළි කිරීම් බවට පත් කරන්නත්. එහෙම අපැහැදිළි කළාම බොරදියේ මාළු බාන්න පුළුවනි. මේකට සමහර අය හරි දක්ෂයි.

අපට අප විසින්ම අමාරුවේ වැටෙන්න පුළුවන් අනිත් කාරණය තමයි, ඍජු පරිවර්තන භාවිතා කිරීම. ලෝකෙ පවතින සෑම භාෂාවක්ම එකකට එකක් අනුරූප නෑ. ඉංගිරිසි බාසාවෙන් ගවර්න්මන්ට් කිව්වහම ආණ්ඩුව කියන වචනයේ තේරුමට සෑහෙන්න සමාන තේරුමක් ඇතිවෙනවා. ඒ වුනාට ඒ වචන දෙක සීයට සීයක් සමාන නැහැ. ආණ්ඩුව කියන වචනය යෙදෙන හැම තැනකදිම ගවර්න්මන්ට් එක කියල කියන්න බැහැ. අනිත් අතර ගවර්න්මන්ට් කියල යෙදිල තියන හැම තැනකමත් ආණ්ඩුව කියන වචනය යොදන්න බැහැ.

සාමාන්‍යයෙන් කවුරුත් පාහේ පිළිගන්න කාරණයක් තමයි, ආණ්ඩුව කියන්නෙ මහජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සැළසුම් කරන සහ ඒවා ක්‍රියාත්මක කරවන ආයතනය බව. මේ කටයුත්ත කරන්න, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන ආණ්ඩුව විසින් පවත්වාගන යනවා. ඕනෑම රාජ්‍යයක් කුළුනු තුනක් මත තියන බවත්, ඒ එක කුළුනක් හෝ දුර්වල වුනාම රාජ්‍යය අස්ථාවර වන බවත් ඉගැන්වෙන්නේ ඒ අනුවයි. දැන් මේ තුනට තවත් කුළුනක් එකතු වෙනවා, "නිදහස් ජන මාධ්‍ය" කියල. ‍(මේව කුළුනුද නැතිනම් කුළුණුද?).

පිළිගත් අර්ථ දැක්වීම් මෙහෙම තිබුනට, ආණ්ඩුව කියන්නෙ "වැඩකරන ජනතාව" පෙළමින් "ප්‍රාග්ධනයේ හිමිකරුවන්" වෙතට ධනය ගලා යැවීමට තිබෙන උපකරණයක් බව  මාක්ස්වාදී අර්ථකථනයයි. මෙහෙම අර්ථකථනයක් තිබෙන බව වඩා හොඳින් දන්නේ වැඩකරන ජනතාව නොව ප්‍රාග්ධනයේ හිමිකරුවන්ම නිසා, ඒ අර්ථදැක්වීම නිෂ්ප්‍රභා කරන්නටත් ඔවුන් කටයුතු කරනවා. සෝමපාල මුදලාලි අලුතෙන් ලොරියක් ගත්තට පස්සෙ කිව්වලු "බලපල්ල මං දැන් තව පවුල් දෙකකට ආදායම් මාර්ග හදල දුන්න ඕං" කියල.

2 comments:

  1. Blog kiywanna ape sindiyta enna http://lankablogs.com

    ReplyDelete
  2. Blog kiyvanna ape syndi enna http://lankablogs.com

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.