2013-04-30

එහෙමයි හාමුදුරුවනේ (18+)



කවුදෝ කාන්තා රත්නයක් අපේ බො‍සාගේ මූනු පොත් ගිණුමට මැසේජ් එකක් දාල.

ඒයි හෙනහුරෝ මේ බලපං කවුද මේ කෙල්ල?

ම්හ් මං දන්නෙ කොහොමද කාගෙවත් එකවුන්‍ට් එකක තියෙන මෙසේජ් එකක් දැම්මෙ කවුද කියල.

නැ බං මං කල්පනා කළේ මට මෙහෙම ඩයල් එකක් මතක නෑනෙ.

ඔන්න ලොක්ක ඇනගත්ත තැන. ඕකෙ තියන ප්‍රොෆයිල් ෆොටෝ ඔක්කොම ඔය ලියන එකාලගෙ පින්තූර කියලද හිතන් ඉන්නෙ?

ඒකත් හැබෑව තමයි. මොකක්ද බං මේ ලින්ක් එකක් තියෙන්නෙ.

ක්ලික් කරල බලපන්කෝ වැඩි වියදමක් යන්නෙ නෑනෙ.

අම්මට උඩු මේ අපේ ජාතිය ආගම ගැන ආදරේට දාපු පේජ් එකක් නේද? උඹට කියන්න බං දැන් මේ වගේ එව්වොත් නැති උනානං අපේ රට ජාතිය ආගමට මොනවයින් මොනව වෙලාද කියල හිතාගන්නවත් බෑ බන්.

ඒ වගේ තමා කියවල බලපන් ඔය විස්තර ටික, කමෙන්ට් ටිකත් එක්කම.

අඩේ මේ ධර්ම චක්කරේම දාල තියෙන්නෙ ‍කමෙන්ට් එකක්. බුදුහාමුදුරුවෝ වෙන්නනම් බෑ නේද?.
නෑ නෑ කවුරුහරි ආගම භක්තිය තියන සැදැහැවන්තයෙක් වෙන්න ඇති.කියවල බලපන්කො.

ම්ම්ම්ම් .......මන් වේජ් පැට්ටා වෙසි....ඒයි දොර වහපන් පොඩි එකා එයි.

ඇයි බොස් පොඩි එකා ක්‍රිස්තියානිද?

නෑ බන් මට මේ මේ සිංගිරිසි කියවනකොට පැටලෙනවා.  නරක වචනයක් වගේ කි‍යවෙන්න ආවා.

· 
· 
Noel Perera mun wage patta wesiyo thamai budu dahamata nigraha karanne,patta wesiyanta pare dala hukanna one
20 April at 21:16 · Like

ප:ලි: මේක 18+ කියල දැම්මෙ වැටෙන්නට නියමිත කමෙන්ට් ගැන සිතාගෙනය.

2013-04-18

කාන්තාවන්ට පමණයි


මේ විශේෂඥ උපදෙස් කාන්තාවන්ගේ ප්‍රවේශම සඳහායි
1)    කාන්තා ඔබට සෙනග අඩු අවස්ථාවක සැක සිතෙන පිරිමියකු සමග තට්ටු ගණනාවක ගොඩනැගිල්ලක විදුලි සෝපානයක (ලිෆ්ට් එකක) ගමන් කිරීමට සිදු වුවහොත් ඔබ කරන්නේ කුමක්ද?

විශේෂඥ උපදේශය:  විශේෂඥ උපදේශය නම්, ඔබට ගමන් කිරීමට අවශ්‍ය තට්ටුව දක්වා ඇති සියළුම තට්ටු වලට අදාළ බොත්තම් ඔබා සියළුම තට්ටු වල සෝපානය නැවතීමට සළස්වන්න. සිහියක් ඇති එකෙක් ඔබට අතවරයක් නොකරනු ඇත.

2)    ඔබ නිවසේ තනිව සිටින අවස්ථාවකදී නිවසට පැමිණෙන අමුත්තකු ඔබට හිරිහැර කිරීමට සැරසෙන්නේනම් කුමක් කළ යුතුද?

විශේෂඥ උපදේශය:  වහාම කුස්සියට දුවන්න. මිරිස් කුඩු සහ කහ කුඩු ඇත්තේ කොතනදැයි නිවැරදිව දන්නේ ඔබ පමණකි. පිඟන් සහ පිහි තබා ඇත්තේ කොහිදැයි දන්නේ ඔබ පමණකි. මේ සියල්ල මාරක ආයුධ ලෙස යොදාගැනීමට හැකිය. වෙනත් කිසිවක් කළ නොහැකිනම්, පිඟන් කෝප්ප එහාට මෙහාට විසි කරන්න. ඔහේ කැඩුනාවේ. හයියෙන් කෑ ගසන්න. සතුරා අකමැති‍ම දේ හඬනැගීමයි.

3)    රාත්‍රී කාලයේදී ටැක්සියක හො ත්‍රිරෝද රථයක යාමට සිදු වුවහොත් ඔබට ගතහැකි ආරක්ෂක පියවරයන් මොනවාද?


විශේෂඥ උපදේශය:  වාහනයට ගොඩවීමට පෙර එහි ලියාපදිංචි අංකය, වාහනයේ පාට, වර්ගය ආදිය බලා මතක තබාගන්න. වාහනයට ගොඩ වූ විගස, ඔබගේ ගමනාන්තය රියැදුරුට දන්වා ඔබේ මොබයිල් ෆෝන් එක අතට ගෙන කවර හෝ හිතවතකුගේ (ස්වාමියාගේ, දරුවකුගේ, මිතුරකුගේ, මිතුරියකගේ, ඥාතියකුගේ) අංකය අමතා “මං දැන් රතු පාට ත්‍රී වීලර් එකක නැගලා අසවල් තැනින් බහිනවා, මාව ගන්න එන්න, ත්‍රී වීලර් එකේ නොම්බරේ මේකයි” ආදී වශයෙන් ඔබ ගමන් ගන්නා රථය ගැන හැඳින්වීමක් කරන්න. ඔබ අතේ මොබයිල් ‍‍ෆෝන් එකක් නැත්නම් නිකම්ම අත කනේ තියාගෙන කතා කළත් කමක් නෑ. ඔබ අමතනු ලබන තැනැත්තා කතා නොකළත් කමක් නෑ. ඔබ එනතුරු ඥාතියාට ගමනාන්තයේ සිටින ලෙස දැන්වූ බව සහ ඔබ එන රථය ඥාතියාට දැනුම් දී ඇති බව රියැදුරුට  හඟවන්න.

4)    රියැදුරා වාහනය නොයා යුතු පාරකට හැරවූවොත් ඔබ කරන්නේ කුමක්ද?

විශේෂඥ උපදේශය:  ඔබගේ අත් බෑගයේ හැන්ඩලය හෝ සාරි පොට හෝ ඔසරි පොට රියැදුරුගේ බෙල්ලට තබා පිටුපසට අදින්න. (නිසැකවම ඔබ වාඩි වී සිටින්නේ රියැදුරුට පිටුපසින් කියා සිතමි.) ඔබ අත අත් බෑගයක් නැතිනම්, ඔබ සාරියක් හෝ ඔසරියක් හෝ පංජාබි සූට් එකක් ඇඳ නැතිනම්, රියැදුරුගේ කමිස කොළරයෙන් තදින් අදින්න. ඔහුගේ කමිසයේ උඩ ‍බොත්තම අවශ්‍ය කාර්යය ඉටු කරනු ඇත.

5)    කවරකු හෝ ඔබව ෆලෝ කරන බව පෙනී ගියහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

විශේෂඥ උපදේශය:  වහාම සාප්පුවකට හෝ නිවසකට ගොඩ වැදී ඔබට ඇති වූ සැකය ගැන විස්තර කරන්න. විවෘත නිවසක් හෝ සාප්පුවක් නොමැතිනම්, ටෙලර් යන්ත්‍රයක් වුවත් කම් නැත. (ඒවායේ සෙකියුරිටි ගාඩ්ලා සිටිති. සීසීටීවී යන්ත්‍ර ද තිබේ)

7)    සෑම විටම අවදියෙන් ඉන්න. (ඇලට් එකේ ඉන්න.)


(8) මෙය කලින් කියවා ඇත්නම් හෝ නැත්නම්, මේ ගැන තව තවත් අය දැනුවත් කරන්න.

2013-04-06

ඒකිය පුද්ගල නිදහස (අනුවර්තනයකි)

ORIGINAL?

ඇමරිකානුවෙක් හා ඉන්දියානුවෙක් අවන්හලකදි කථාවට වැටුණහ. අවන්හලකදී දොඩමළු වීම සඳහා මිතුරන් වීමේ අවශ්‍යතාවක් නැත. පෙර කිසි දිනක එකිනෙකා හමු වී නැති නමුත් එක මේසයේ වාඩි වී මධුවිත තොලගාන දෙදෙනකු කුළුපග වන්නේ වැලි කෙළියේ පටන් එකට සිටියවුන් විලසිනි.
ඇමරිකානුවාගේ බීම වේගවත් බව දකින ඉන්දියානුවා ඔහුට අවවාද කළේ "ඔච්චර බොන්න එපා, මං මෙච්චර ප්‍රශ්න තියාගනත් ඔහොම බොන්නෙ නෑ සිහිනැති වෙනකල්".

මොනවද උඹට තියන ප්‍රශ්න? අමෙරිකානුවාගේ විමසීම ඍජුය.

"උඹ දන්නවද ඉන්දියාවෙ තියන සිස්ටම් එකේ හැටියට අපට බෑ අපි ආදරේ කරන කෙල්ලව බඳින්න, බලපන් අපේ අම්මලා මට බල කරනව අර ගොඩේ කෙල්ලක්ව බඳින්න කියල. මං ඒ කෙල්ල දැකලවත් නෑ මීට කළින්. අපි ඒකට කියන්නේ ‍යෝජනා කරන මංගල්ලයක් කියල. ඒ වුනාට මං කැමති නෑ මං ආදරේ කරන්නෙ නැති කෙල්ලක් බඳින්න. මං මේක කෙළින්ම කිව්ව. දැන් මට කෙළවරක් නැති ප්‍රශ්න, මේ යෝජනා කරන මඟුල් නිසා."

"හුහ්, උඹ මේ කතාකරන්නෙ ලව් මැරේජ් ගැනද? ඔන්න අහගනිං. මං බැන්දෙ මං අවුරුදු තුනක් තිස්සෙ ආදරේ කරපු වැන්දඹුවක්. කවුරුවත් විරුද්ධ වුනේ නෑ. අවුරුදු දෙක තුනකට පස්සෙ අපේ තාත්ත ආදරේ කරන්න පටන් ගත්ත මගෙ ගෑණිගෙ පරණ කසාදෙ දුවට. අන්තිමට දෙන්න බැන්ද. ඔන්න දැන් මගෙ තාත්ත මගේ බෑණ වුනා. ඒ කියන්නෙ මං මගේ තාත්තගෙ මාමණ්ඩි. තේරුණා නේද?

දැන් නීතිය අනුව මගේ දුව තමයි මගේ අම්මා. ඒ කියන්නෙ තාත්තගෙ බිරිඳ.

ඔය අතරෙ මට පුතෙක් ලැබුනා. දැන් මගෙ බිරිඳගේ දෙවෙනි දරුවා වන මගේ පුතා බිරිඳගෙ පළවෙනි දරුවාගෙ සහෝදරයෙක් නෙ.එතකොට මගේ දරුවයි එයාගෙ අක්කගෙ මහත්තයයි දෙමස්සිනාලා. ඒ කියන්නෙ මගේ තාත්තා මගේ පුතාගෙ මස්සිනා.

මේ තත්වය තවත් බැරෑරුම් වුනේ තාත්තටත් පුතෙක් හම්බවුනාමයි. එතකොට ඒ තාත්තගෙ දෙවැනි දරුවා මගේ සහෝදරයෙක්. නමුත්, ඒ මගේ බිරිඳගෙ දුවගෙ දරුවා නැත්තම් මුනුපුරා. එතකොට අ‍පි දෙන්නගෙ මුනුපුරා මගේ සහෝදරයෙක්. මම මගේ සහෝදරයගෙ සීයා. මගේ සහෝදරයගෙ සීයා කියන්නෙ මගෙත් සීයා.

දැන් බලපන්, මං මගෙම සීය වෙලානෙ.

ඉතින් උඹ කියනව උඹලගෙ රටේ ක්‍රමය නිසා ප්‍රශ්න වැඩියි ලු."

2013-04-02

ලිපෙන් කබලට

දැනට අවුරුදු තිහකට විතර ඉස්සර, ඒ කියන්නෙ අසූව දශකයේ මුල් භාගයේදී, දිවයින පත්තරයේ පළවුනා එක්තරා උපමා කතාවක්. මගේ මතකයේ හැටියට මේක පළ වුනේ 83ට ඉස්සෙල්ලා. මේ උපමා කථාව ජනකථාවක්ද පරිවර්තනයක්ද කියන එකවත් ඒක පත්තරේට දැම්මෙ කවුද කියන එකවත් දැන් මගේ මතකයේ නැති වුනත් ඒ කතාවේ සාරාංශයක් මතකයේ තියෙනව.

එකෝමත් එක කාලෙක, එකෝමත් එක ගමක ජීවත් වුනු ‍ගොවියෙකුට සිතෙනවා තමන් ඉතා කරදරකාරී ජීවිතයක් ගෙවන බව. ඔහුට අපහසුතා රාශියක්. අවශ්‍ය තරම් අස්වැන්න ලැබෙන්නෙ නෑ, බිරිඳට - දරුවන්ට අසනීප, මේ වගේ ප්‍රශ්න.

මෙහෙම ඉන්න අතරවාරයේ දවසක් ගොවියාට කැළෑවේ ඉන්න තාපසවරයෙක් දකින්න ලැබෙනවා. තාපසයාට තමන් අතේ තිබුනු බත් මුල පූජා කරන ගොවියා අනතුරුව තාපසයාගෙන් විමසනවා තමන්ට ‍දැනට පවතින කරදර වලින් මිදෙන මගක්. මුලින්ම තාපසයා කරන්නේ ගොවියාගේ සියළු තොරතුරු අසා දැන ගැනීම. අවසානයේ ගොවියාට උපදෙස් ලැබෙනවා, ගොවියා ඇති කරමින් සිටින එළුවා රාත්‍රී කාලයේදී ගෙයින් පිටත නොතබා ගෙතුළට වැද්දගන්නා ලෙසට.‍‍

එල්ලෙන්න වැලක් නැති මනුස්සයෙක් පිදුරු ගහක එල්ලෙනව වගේ ගොවියා ඒ තාපසයාගෙ උපදේශය එයාකාරයෙන්ම පිළිපදිනවා.

ප්‍රතිපලය වුනේ, ආයෙ අහන්න දෙයක් තියනවයැ, ගොවියා කබලෙන් ලිපට වැටීමයි. තිබුනු කරදර මදිවාට දැන් එළුවා ගේ ඇතුළෙ තියාගන ඉන්න එක මහ වදයක්. බල්ලෙක් පූසෙක් වගේද මේකා එළුවෙක්. ගේ ඇතුළෙ පොත් පත්තර වගේ දේවල්නම් තියෙන්න නැතුව ඇති, ඒ කාලෙ. නැත්නම් ඡන්ද කාලෙට විරුද්ධ පක්ෂ වලින් නගරයේ තාප්ප වල අලවන පෝස්ටර් ඔක්කොම කන්නෙ එළුවොනෙ. ‍ගොවියාගෙ තීරණය ගැන බිරින්දෑ දක්වපු ප්‍රතිචාරය ඒ කතාවෙ සඳහන් වෙලා තිබුනෙ නෑ වගෙයි මතක. තිබුනනම් අමතක වෙන්න හේතුවක් නෑ.

අනේ ඉතින් කරදර ඉවසන්න බැරිම තැන ආයෙත් අර තාපසින්නාන්සෙ ළඟට යන ගොවියට ලැබෙන උපදෙස තමයි, එළදෙනත් ගේ ඇතුළට ගන්න කියන දේ. ඒකනම් කොහෙත්ම හරියන්නෙ නැති බව හිතුනත්, මහකැලේ තනිවම භාවනානුයෝගීව කල් ගත කරන තාපසවරයකුගේ උපදේශයක් නිකම් ම නිකම් අහක දාන්න පුළුවනියැ. තාපසවරයෙක් මේ වගේ උපදේශයක් දෙන්න මොකක් හරි බලගතු හේතුවක් තියෙන්නම ඕනැනෙ. ගෙදර උන්දෑ මොනවා කිව්වද කියල දන්නෙ නෑ මේ වෙලාවෙදි, නමුත් ගොවියා එළදෙන ගේ ඇතුළට ගන්නවා.

පහුවදා වෙනකොටම වැඩේ කිරිමෙල් බව ගොවියාට දැනුනත්, ටික දවසක් වත් බලන්නෙ නැතුව එකපාරටම තීරණයක් ගන්න එක හොඳ නැහැයි කියල හිතන ගොවියා, සතියක් ඉවසගෙන ඉන්නවා.
දවස් හතක් ඉක්මවූ ගමන්ම වහාම තාපසයා හමුවෙන්න යන ගොවියා කියා සිටින්නේ ඒ වෙනකොට තත්වය අතිශයින්ම බැරෑරුම් බවයි. මඳ වේලාවක් දෑස් පියාගෙන සිටින තාපසතුමා ඔන්න දුන්න උපදෙසක්. "දැන් එළදෙන ආපසු ගෙයින් එළියට දාන්න, මට දවස් හතකින් ඇවිත් ප්‍රතිපලය කියන්න".

දවස් හතකට පස්සෙ තාපසයා තමන් ළඟට ආපු ගොවියගෙන් අහනව තත්වය කොහොමද කියල. දැන්නම් කරදර සෑහෙන්න අඩු බවත්, දැන් තිබෙන එකම කරදරය එළුවා ගේ ඇතුළේ සිටීම බවත්, ගොවියා පැහැදිළි කරනව. තාපස තුමා මොහොම කල්පනාකාරීව ඉඳලා උපදෙස් දෙනව වහාම එළුවා ගෙදරින් ඉවත් කරන ලෙස. බොහොම සතුටින් ගෙදර යන ගොවියා, එළුව ගෙදරින් පිටට දාල බලපුවහම පුදුම සැහැල්ලුවක් දැනෙනව. දැන්නම් දෙයි‍යනේ කියල ඉන්න පුළුවනි, ගොවියට කිසිම කරදරයක් නෑ. තිබුනු එකම කරදරේ ඉවර කළානෙ.

මට මේ කතාව 2010න් විතර පස්සෙ නිතර නිතර මතක් වෙනවා.

මේක උපමා කතාවක්. හැබැයි එදා අර හාවයි ඉබ්බයි කේස් එකේදි වගේ කවුරුවත් මගෙන් අහන්න එපා  කවුද ගොවියා, කවුද එළුවා, කවුද මහින්ද, අරකද මේකද කියලනම්. මොකද මේ කතාව පත්තරේ යන්නෙත් අවුරුදු තිහකට විතර කළින් වගේම කතාව මුලින්ම ප්‍රබන්ධ වුනේ අවුරුදු දාස් ගානකට ඉස්සෙල්ල වෙන්නත් පුළුවන්නෙ.