2013-03-12

ජනතාව උසිගැන්වීමෙන් වළකින්න

ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!  යනුවෙන් ලියූ ෝස්ට් එකක් මේ දිනවල බෙහෙවින්ම කියවනු ලබන අන්වර් මනතුංගවෙබ් අඩවිේ පළ කර තිබෙනු දුටුවෙමි. ඔහු කියන කතාවේ වරදක් දකිමි. මා හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධ ලිපියක් ලියා තිබෙනවා සමහර විට ඔහු නොදකින්නත් ඇති.

ඔහු සඳහන් කරන ජාත්‍යෝන්මාදී කල්ලි වලට අවශ්‍ය වී ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පාගා දමමින් තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීම විය හැකිය. ඊයේ හලාල් අද බුර්කා හෙට තව එකක් යනාදී වශයෙන් නොව ඒ සියල්ලම ආවේ එක දිගටය. සමහර විරෝධතාවන් දැනටමත් හැලී ගොස් ඇත.

එහෙත්, හලාල් ප්‍රශ්නය සම්බන්ධ වූ ඇත්ත අසාධාරණයක් මා විසින්ද දක්නා ලද අතර එය ඉහත පෝස්ට් එකේම පළ කළෙමි. හල්ලා ප්‍රශ්නයට දැන් ලැබී ඇතැයි කියන විසඳුම හලාල් සහතිකය සඳහා ලංකා වාණිජ මණ්ඩලයෙන් සහ මුස්ලිම් සංවිධානයකින් බරපැන දැරීම බව අන්වර් මනතුංගගේම ලිපියක මා දුටුවෙමි. එම විසඳුම සාධාරණය. මුදල් ගෙවිය යුත්තේ අවශ්‍යතාව ඇති අයයි. මුදල් ප්‍රමාණය ඉතා කුඩා වුවද හලාල් ඉල්ලා නොසිටින පාරිභෝගිකයාගෙන් එයට මුදල් අය කිරීම වැරදිය. ඒ නිසා හලාල් විරෝධය (එහි සත්‍ය අරමුණ වෙනස් දෙයක් වුවත්) පිළිබඳව එරෙහි වීමට කිසිවකුට හැකියාවක් නැත.
.
බුර්කාව යනු ඇඳුමකි. ආරක්ෂක හේතූන් මත යම් යම් ස්ථානයන් වෙත යාමේදී බුර්කාව, ලෝගුව හෝ සිවුර තහනම් කළ හැකි වුවත් නිරුවත නොපෙනෙන ඕනෑම ඇඳුමක් ඇඳීම මනුෂ්‍යයාගේ පරම අයිතියකි. එයට විරුද්ධ වීමට කිසිවකුට නොහැකිය. එමෙන්ම හලාල් විරෝධය මෙන් බුර්කා විරෝධය සම්බන්ධයෙන් මහජන මතයක් ගොඩ නැගී ඇත්තේ ද නැත. (මෙහිදී අන්වර් මනතුංග අනවශ්‍ය ලෙස ජනතාව උසිගන්වන බව මට සිතේ.)

සාධාරණ ලෙස කටයුතු නොකරන ව්‍යාපාරිකයන්ට මුස්ලිම් ව්‍යාපාරිකයා තර්ජනයකි. අන් ව්‍යාපාරිකයන්ටත්, ව්‍යාපාරිකයන් වැඩි වීම තර්ජනයකි. මුස්ලිම් ව්‍යාපාරිකයා සැම විටම සාධාරණ ලෙස කටයුතු කරන්නේයැයි කියා මම නොසිතමි. එහෙත්, පාරිභෝගිකයා ඇද ගැනීමේ උපාය ඥානය ඔවුන් සතුව තිබේ. මේ හේතූන් නිසා මුස්ලිම් ව්‍යාපාරිකයා නෙරපීම දවසේ අවශ්‍යතාව බවට පත් වූ කොටසක් සිටිති. ඔවුන් විසින් පෝෂණය කරනු ලබන කල්ලි කණ්ඩායම් විසින් එම අවශ්‍යතාව ඉටු කරනු ඇත.

මේ බ්ලොග් සඟරාව ආරම්භයේදීම ලියා ඇති ලිපි කීපයක මේ ගැන සඳහන්ව තිබේ. අද දක්නට ලැබෙන ඊනියා බොදු පුබුදුව විකාරයකි. හරසුන් වූත් බාහිර ආටෝපයට මුල් තැන දෙන්නා වූත්, තර්කානුකූලව කියන්නට නොහැකි වන විට කුනුහරුප ඇද බාන්නා වූත්, ෆේස් බුකියේ සහ ඊ මේල් සමූහයන් අතර පමණක් බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටින්නා වූත්, කරුණාව, මෛත්‍රිය වැනි යහ ගුණාංග රහිත වූත් වීරයන්ගේ නිවට ව්‍යායාමයකි.

අන්තවාදී ඉස්ලාමික සංවිධාන ලොව පුරා පහළව තිබේ. ලංකාව තුළ ද එවැනි සංවිධානාත්මක ක්‍රියාකාරකම් නොතිබෙන්නේයැයි ඉඳුරා කීමට අප නොදනිමු. එහෙත් එවැනි ක්‍රියාකාරිත්වයක් මටනම් දක්නට ලැ‍බී නැත. ළඟදී මේ ගැන කතා බහ කළ මගේ මිත්‍රයෙක් කීවේ "ඒ වුනාට මචං අපි පොඩි කාලෙ එහෙම මේ වගේ බුර්කා ඇඳගත්තු ගෑනු මේ රටේ දකින්න හිටියෙ නෑනෙ" කියායි. ලෝකය පුරා සිදුවන (ජිහාඩ් හෝ තලේබාන් හෝ වැනි) විවිධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දකින අපට (අපි මොන තරම් නිර්භීත ජාතියක් වුනත්) බුර්කාව ඇඳගත් ගැහැණු දකින විට භීතියක් ඇති වේ. සිකුරාදා මුස්ලිම් ජනතාව එක් රැස් වී පල්ලි යන විට භීතියක් ඇති වේ. මේ ළඟකදී කොල්ලුපිටියේ මුස්ලිම් එක්රැස් වීමක ඡායාරූපයක් ඊ මේල් මගින් සංක්‍රමණය වනු දක්නට ලැබිනි. මෙවැනි එක් රැස් වීම් අපට නුහුරුය. අපි ජේ වී පී එකටත් බය වෙලා සිටින්නේ ඒ නිසාය. කතා බහේදී ජේ වී පී එක ඉතා හොඳ බව පිළිගන්නා අය (මේ කිව්වේ ජවිපෙ බැබැලුනු 2003 කාලේ, දැන්නම් ජේ වී පී එක කොහොමත් එච්චර ජනප්‍රිය නැත.) වුනත් ඡන්දය දෙන්නට බය වූ බව ඡන්ද ප්‍රතිපල වලින් පෙනී ගොස් ඇත.

බහුතරයාගේ කැමැත්ත අනුව සුළුතරයා පාගා දෑමීම ලෝක නියාමය බව සිතා සිටින අපි අනාගතයේදී ලංකාවේ බහුතරයා මුස්ලිම් වනු ඇතැයිද, එවිට ලංකාවේ ෂරියා නීතිය බලපවත්වනු ඇතැයිද සිතා බිය වී සිටිමු. බියට පත් වූ සත්වයා අතිශයින්ම දරුණු වේ. ඒ නිසා, මේ භීතිය නැති නොවුනහොත් විනාශය දරුණු වනු ඇත.

සුද්දා රෝම ලන්දේසි නීතිය ගෙනාවේ බහුතර බලයකින් නොව ආක්‍රමණයකින්ය. කෙසේ හෝ ඒ නීතිය ලංකාවටත් ඉතා හොඳ බව පෙනී ගොස් ඇත. ෂරියා නීතිය හොඳයි කියා ඉඳ හිට වැරදීමෙන් සමහරුන් අතින් කිය වී ඇත. ඒ දවස්වල ෂරියා යන වචනය නොදැන සිටි අය කීවේ "මේ අපරාධ වළක්වන්නනම් අරාබියේ වගේ අත පය කපන්න පුළුවන් නීති ගේන්න ඕනෑ" කියාය.

දිගින් දිගට හෑලි නොලියා කෙටියෙන් කියනවානම් මෙසේය.

අන්වර් මනතුංගත්, සිංහල බෞද්ධ සංවිධානයැයි කියාගන්නා කල්ලි වාදීනුත් ජාතිවාදී හා ආගම්වාදී විෂබීජ වැපිරවීම වහාම අත්හැරීම සුදුසුය.

අනවශ්‍ය විරෝධතාවන් මගින් සැබෑ ජාතික අවශ්‍යතාවන් යටපත් නොකළ යුතුය.

බොහෝ ව්‍යාපාරිකයන්ට ජාතියක් ගැන හැඟීමක් නැති අතර තමන්ට කෙළ වී ගෙන යද්දී පමණක් ජාතිය මතක් වේ. ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඔවුන්ට කේ යාමෙන් වැළකිය යුතුය.

සියළු සිංහලයන් කෙට එළදෙනුන් ලෙස දිවීමෙන් වැළකිය යුතුය.
සියළු මුසල්මානුවන් අන්වර් කියන දෙයම පිළිගැනීමෙන් වැළකිය යුතුය.

තිස් අවුරුදු යුද්ධය ොබයිල්මෑන්ට නම් තවමත් ොඳට මතකය.



(කමෙන්ට් මොඩරේට් කරනු ලබන අතර කුනුහරුප ලියනවානම් මොබයිල්මෑන් නොදන්නා ඒවා පමණක් ලියන්න.)

6 comments:

  1. උබ මහින්දට චන්දෙ දීපු එකෙක් නේද? තාමත් යුද්දෙ පට්ට ගහනවද? :D :D
    හම්බයෝ බුදුපිලිම විනාස කරනකොට‍, බංගලිදේසෙ, බුරුමෙ පන්සල් ගිනිතියනකො‍ට උබේ ක‍ට තිබ්බෙ ‍කොහෙද?

    ReplyDelete
  2. මිනිසෙකු ඇඳුම් අඳිනුයේ පුද්ගල උවමනාවට නොව එය සමාජ අවශ්‍යතාවයක් වන බැවිනි. මුස්ලිම් සමාජයේ අවශ්‍යතාවයක්නම් “බුර්කාව“ එය ඇදපුවාවේ. නමුත්, ආරක්ෂක වැනි විශේෂිත සහ සාධාරන හේතූමය අවස්ථාවලදී ඊට අවනත විය යුතුය.

    ReplyDelete
  3. මහින්ද කරන මගුලක් නෑ උඩ බලාගෙන ඉන්නව ඊ ළඟ යුද්දෙ එනකන්ම.

    අපිට යුද්දෙ පට්ට ගහන්න බැහැ, යුද්දෙ අපට පට්ට ගහනවා. ආයුධ නිෂ්පාදකයො නහයෙන් අඬල වාර්තාවක් නිකුත් කරල තියනව දැක්කෙ නැද්ද? උන්ගෙ පිරිවැටුම හොඳටම අඩු වෙලාලු. යුද්දයක් අවශ්‍ය අය එහි ප්‍රතිපල මතක් කරගෙන යුද්දෙ ඉල්ලන්න.

    තලේබාන්කාරයෝ බුදු පිළිම විනාශ කළේ මට දැනුම් දීමකින් තොරවය. බංගලි දේශයේ හෝ බුරුමයේ පන්සල් ගිනි තියනකොට මා සිටියේ ලංකාවේ බැවින් මගේ කට තිබුනේද ලංකාවේය. ඇෆ්ඝනිස්ථානයේ බුදුපිළිම විනාශ කර දමා අවුරුදු දහයකටත් වඩා ගත වී ඇත. මේ සියල්ල සමහර අයට මතක් වී ඇත්තේ ඊයේ පෙරේදාය.

    ඔබගේ කමෙන්ටුව බළලා මල්ලෙන් එළියට පැනීමක්ද?

    ReplyDelete
  4. Replies
    1. WMK මට සමාවෙන්න ඔබගේ කමෙන්ටුව වැරදීමකින් මැකුණා.

      ඔබ කියා තිබුනේ හලාල් ලාංඡනය ඉවත් කිරීමට කටයුතු යෙදීම සිංහල බෞද්ධ පාරිභෝගිකයා රැවටීමක් බවත්, ඉන්දියාවේ බෞද්ධ පූජනීය වස්තු විනාශ කිරීම ගැන "මා එහි නොසිටීම" යන්න පිළිතුරක් නොවන බවත් ය.

      හලාල් සහතිකකරණය නැවතී නැති බව ඇත්තය. මා දන්නා තරමින් හලාල් සහතික දීමේ ක්‍රියාවලියට තිබුනු විරෝධය වූකලී මුදල් අය කිරීමේ ප්‍රශ්නයයි. තමාට අවශ්‍ය නොවන සහතික වලට පාරිභෝගිකයාගෙන් මුදල් අය නොකරනවානම් මිලදී ගන්නා නිෂ්පාදනයට තිබෙන සහතික ගැන නොව නැති සහතික ගැනයි විමසිළිමත් විය යුත්තේ. එස් එල් එස් සහතිකය නැති නිෂ්පාදනයක් මිල දී ගන්නවාට වඩා එය තිබෙන සහතිකයක් මිල දී ගැනීමට අපි උනන්දු වෙනවා නේද?

      බෞද්ධ පුරාවස්තු හෝ පිළිම හෝ වෙනත් පූජනීය වස්තු විනාශ කිරීම හලාල් සහතිකයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා සිදුවන විට මා සිටියේ කොහොදැයි කියා කණිෂ්ක නොහොත් කණියා නමැති අය (1වැනි කමෙන්ටුව) අසා තිබුනු නිසා එයට පිළිතුරක් දුන්නා හැර ඔබගේ ප්‍රශ්නයට එම පිළිතුර අදාළ වන්නේ නැහැ.

      යම් ආගමක පූජනීය වස්තු විනාශ කිරීම, ඒවාට අපහාස කිරීම ශිෂ්ටාචාරයට පැමිණි මානවයා විසින් නොකරනු ලබන, ග්‍රෝත්‍රිකයන් විසින් පමණක් කරනු ලබන, හෙළා දැකිය යුතු දෙයක්. ඒවාට පිළිතුරු වශයෙන්, ලංකාවේ නිෂ්පාදන වලට හලාල් සහතික දීමට ඉඩ නොදී සිටීම අදාළ වන්නේ නැහැ නේද?

      හලාල් විරෝධී ව්‍යාපාරයේ චෝදනාව වුනේ "හලාල් සහතිකය සඳහා නිෂ්පාදකයාගෙන් මුදල් අය කිරීම නිසා, 9%කගේ අවශ්‍යතාව වෙනුවෙන් 90%ක් වූ පිරිසකට අනවශ්‍ය මිලක් ගෙවීමට සිදුවීම" යන්නයි. දැන් නිෂ්පාදකයාගෙන් මුදලක් අය කරන්නේ නැති අතර සහතිකය දීම තවදුරටත් සිදු වෙනවා. එනිසා ඉස්ලාමිකයන්ට හැකි වෙනවා ඒවා මිල දී ගැනීමට. අපට, එනම් ඉස්ලාම් නොවන අයට එයින් ඇති වන හානිය කුමක්ද?

      Delete
  5. හලාල් සහ බකමූණන් http://bitternight.blogspot.com/2013/03/blog-post_12.html

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.