2012-09-13

අංගුලිකා සහ කක්ක බර

බස් එකේ යනකොට චූ බරක් හැදුන හැටි, නුගේගොඩදී චූ බරක් හැදුනහම කරපු දේවල්, පාර අයිනෙ චූ කර කර හිටපු කොල්ලන්ට වතුර ගහල චූ නාන්න වුන හැටි, අළුත් (ටියෂන් ක්ලාස් එකේ) කෙල්ලන්ට වැඩියෙන් චූ බර හැදෙන හැටි ආදී වශයෙන් චූ බර ගැන සිංහල බ්ලොග් රචනාවන් ගණනාවක් අපට හමු වෙනවා.

මේ ගැන මට මතක් වුනේ නගරයේදී කක්කා බරක් හැදීම නිසයි. ඒක බොහොම බරපතල තත්වයක්. කක්කා බරක් හැදුනහම ඇති වන ප්‍රශ්න චූ බරකට සාපේක්ෂව ගොඩක් සංකීර්ණයි. මේක විස්තර නොකළත් අපි කවුරු කවුරුත් අත්දැකීමෙන් දන්න දෙයක්. හැබැයි, වාසනාවකට වගේ කක්ක බර හැදෙන එක චූ බර හැදෙන එක තරම් සුලභ නැහැ. කළාතුරකින් වගේ තමයි ඒක සිද්දවෙන්නෙ.

ඉතින් මට මේ කළාතුරකින් ඇති වන තත්වයට මුහුණ දෙන්න වුනා කියමුකො. පළමුවෙන්ම මේ සඳහා සුදුසු ස්ථානයක් හොයාගන්න වෙනවා. උත්තරය ඉතින් පොදු වැසිකිළිය නෙ. ඒ වුනාට මේ "පොදු" වීමේ ප්‍රශ්නය ටිකක් කේස් එකක්. මොකද කිව්වොත් පොදු වැසිකිළියක තියන කොමඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් තත්වයක තියනවද කියන එක සැක සහිතයි. කොටින්ම කිව්වොත් අපිරිසිදුයි. මගේ සුපිරිසිදු තට්ටං දෙක කොහොමද මේ පොදු කොමඩ් එකක ගෑවෙන්න ඉඩ තියන්නෙ? ඉස්සරනම් බස්ටෑන්ඩ් එක වගේ තැන්වල තිබුන වැසිකිළි ස්කොටිං පෑන් වලින් සමන්විත වෙලා තිබුනෙ. මොන තරම් අපිරිසිදු තත්වයක තිබුනත්, ඇ‍ඟේ ගාගන්නෙ නැතිව වැඩේ කරගන්න පුළුවන්කම තිබුනා. දැන් තත්වය ගොඩක් වෙනස්. නගරයේ පොදු වැසිකිළි අඩුයි. කාර්යාල වගේ තැන්වල තියෙන්නෙ කොමඩ් හයි කරපු ටොයිලට්.

දෙවෙනි ප්‍රශ්නෙ තමයි වතුර ඇති තරම් ලැබෙනවද කියන එක. කතන්දරකාරයාගේ පුක්කොළ පාවිච්චි කරල තියෙනවනම් මේක එච්චර බරපතල නෑ. ඒත් මේ මං වගේ ලෝකල් පොරක් කවදාවත් පුක්කොළ වලින් පිහදාගන නෑනෙ. ගමේ පුරුද්දට ඉතින් වතුර ගැලුමක් දෙකක්වත් තිබුනනං තමයි හොඳ.

මේ අර්බුදකාරී අවස්ථාවෙන් ගැලවෙන්න මං ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන උපක්‍රමයක් තියෙනවා. ඒක කියන්නයි මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. (හැබැයි මේකෙ අතුරු ඵල ගැන නම් මට වගකීමක් ගන්න බැහැ.)

අපට මෙහෙම හදිසියේ තදබල විදිහට කක්ක බර හැදෙන්නෙ පොඩ්ඩක් හරි ලූස් මෝෂන් තත්වයක් ඇති වුනාමයි. ඉතින් මොකක්ද මේ ලූස් මෝෂන් කියන්නෙ? ඒකෙන් අදහස් වෙන්නෙ කක්කා ගොඩක් බුරුල් විදිහට පිට වෙනවා කියන එකනෙ. ඒ කියන්නෙ, තෙතමනය නොහොත් ජල ප්‍රතිශතය වැඩියි. අපේ මහාන්ත්‍රයේ, ඒ කියන්නෙ මහ බඩවැල කියන එකේ තියනවා, අංගුලිකා කියල රැළි විශේශයක්. මේවා වලින් කෙරෙන්නෙ, ජලය උරා ගැනීම. ඉතින්, වැඩි වෙලාවක් මහාන්ත්‍රය තුළ කක්කා රැඳිල තිබුනොත් ජලය වැඩියෙන් ශරීරයට උරා ගන්නවා. නිසි වේලාවට වැසිකිළි නොගියොත් මළ බද්ධය ඇති වෙන්නෙ එහෙමයි.

මේ කාරණාව ගැන කල්පනා කරල මං නිගමනයකට එළඹිලා තියනව කාලෙකට ඉස්සර. ඒ නිගමනය තමයි, කක්ක බර කල් දමාගන්න ඕනැනං, ශරීරයට වැඩිපුර ජලය උරාගන්න සළස්වන්න ඕනැ කියන එක. ඒ නිසා, වතුර ශරීරයට ඇතුළු වෙන්න නොදී, තියන වතුර පුළුවන් තරම් පිට කරන්න ඕනැ. ඒ කිව්වෙ, කිසිම ආහාරයක් නොගෙන පුළුවන් තරම් චූ කරන්නත් පුළුවන් තරම් දාඩිය දාන තැන්වල ඉන්න, මහන්සි වෙලා ඇවිදින්න ඕනෑ. හැබැයි චූ කරනකොට කක්ක යන්නෙ නැති වෙන විදිහට ප්‍රවේශම් වෙන්න වෙනවා. මේ උපක්‍රමය මගින් මං ඔය ප්‍රශ්නය ජයගත් වාර ගණනාවක් තියනවා. කැමති කෙනෙක් අත් හදා බලන්න.


අනිත් එක, ලංකාවේ නගර ආසන්නයේ කැළෑ රොදක් සොයාගන්න එච්චරම අමාරු නැති නිසා, චූ බර සැහැල්ලු කරගන්න එක පොදු වැසිකිලියක් පාවිච්චි නොකර වුනත් කරගන්න බැරි දෙයක් නෙවෙයි.

4 comments:

  1. මගේ මතයට අනුව රට දියුණු වීමේ එක කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටරයක් (Key Performance Indicator) තමයි පොදු වැසිකිලි ගණන සහ ඒවායේ තත්වය.

    ReplyDelete
  2. වෙනස් විදියේ අදහසක් ට්‍රය් එකක් දෙන්න ඕනේ :)

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.