2012-04-22

සතුන්ගෙ මතක - අරුණී ශපීරෝ වෙතටයි

මිනිසුන් සහ සතුන් අතර ඇති වෙනස්කම් ගැන ලිපියක් මෑතකදී අරුණි ශපීරෝ වෙතින් නමැති වෙබ් අඩවියේ පළ කරල තිබුනා. මේ ලිපිය එයට පිළිතුරු බැඳීමක්වත්, ඒ ලිපියේ අදහස් වලට විරුද්ධව ලියන එකක්වත් නෙවෙයි. මේක මට දැනගන්නට ලැබුනු ඇත්තම ඇත්ත කතාවක්. මේ කතාව මට කියපු මිතුරා සමහර සතුන් ගැන කරුණාව දක්වන කෙනෙක් වුනත් එයා කියපු මේ කතාවෙනම් කිසිම බොරුවක් නැති බව මම විශ්වාස කරනවා.

දැන් මේ කතාව මං ලියන්නෙ මගේ මිතුරාගෙම වචන වලින්.

අපේ ගෙවල් පැත්තෙ දඩාවතේ යන බල්ලො රංචුවක් බෝ වෙලා. උන් හරිම කරදරකාරියි. දැන් අවුරුදු කීපයක ඉඳල දඩාවතේ යන බල්ලන් සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන නිසා රටේ බොහොමයක් තැන්වල මේ බලු කරදරය දකින්න පුලුවනි.

අවුරුදු දෙකකට විතර කලින් කොහෙදෝ ඉඳල අපේ ගෙදරට ආව පූසියක්. මේ පූසිට දෙවැනි වතාවෙ ලැබුනු පැටවු සේරම මේ බල්ලන්ගෙ ප්‍රහාරයට ලක් වෙලා මැරුන. මේ බල්ලෝ රංචුව පූසන්ව හොයාගෙන ඇවිත් ඇටෑක් කරන්න පුරුදු වෙලා හිටියෙ. එක දවසක් උදේ බලද්දි පූසිවත් මරල දාල තිබුන. පළාතෙම එක නාකි පිරිමි පූසෙක් විතරයි ඉතුරු ‍වුනේ. ඌ ටිකක් දරුණු සතෙක්. බල්ලෝ ඌට කිට්ටු කරන්න කලින් දෙවරක් හිතන තත්වයක් තිබුන. කොහොම වුනත්, පූස් පැටව් මැරිල ගියාට පස්සෙ අපි පූසන් ඇති කිරීමෙන් වැළකිලා හිටියෙ බල්ලන් විසින් අඩපණ කරනු ලබන පූස් පැටවුන් විඳින දුක බලාඉන්න බැරි නිසාමයි. මේ නිසා, අපේ ගෙවල්වල මීයන්ගෙන් ලොකු කරදරයක් ඇති වුනත්, මීයන් වඳ කිරීමට වෙනත් උපක්‍රම පාවිච්චි කරනවා හැරෙන්න පූසෙක් හදන එක ගැන අපි හිතුවෙම නෑ. හැබැයි පූසෙක් ඉන්නව වගේ සාර්ථක නෑ වෙන එකම ක්‍රමයක්වත්.
ඊට පස්සෙ අපේ ගෙවල් ළඟ තියන ආයතනයක් මැදිහත් වෙලා මේ බල්ලන්ව අල්ලලා ඈත පළාතකට ගිහිල්ල දැම්මා. ඊට පස්සෙ ඇතිවුනේ පුදුම අස්වැසිල්ලක්.

ඒත් නැවතත් බලු පරම්පරාවක් බෝ වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. අලුත් පරම්පරාවෙ බල්ලො ඉස්සර හිටපු එවුන් තරම්ම නරක නෑ වගේ පෙනුනෙ. ඒත් තනි වෙච්ච පූසෙකුට නිදැල්ලෙ යන්න දෙන තත්වයක්නම් තිබුනෙ නෑ.

මාස කීපයකට ඉස්සෙල්ල ඔන්න පූස් පැටියෙක් අනාථ වෙලා හිටිය අපේ ගෙවල් ඉස්සරහ පාර අයිනෙ. මාත් මගේ බිරිඳත් මාකට් එකට යනකොට දැක්ක පූස් පැටිය. අපෝ උගෙත් අවසානය තමයි මේ පැත්තට අ‍ාවෙ කියල කතා වෙවී අපි යන්න ගිය ගමන ගියා මිසක් පූස් පැටිය ගැන හිතුවෙ නෑ. මාකට් එකට ගිහින් ආපසු එනකොට පූස් පැටිය ගැන මතකයක් අපට තිබුනෙ නෑ. ඌ හිටියෙත් නෑ පේන හරියක.
එදා හවස මම තවත් ගමනක් ගිහින් ආපසු ආවෙ රෑ දොළහට විතර. මෙන්න ගේ ඉස්සරහ පාරෙ කොහොඹ ගහ යටින් යනකොට පූසෙක් කෑ ගහනව ඇහුන. ලොකු වැස්සකුත් අත ළඟ. වට පිට බැලුව පේන්න පූසෙක් නෑ. ලයිට් කණුවෙ එළිය ‍හොඳට තිබුනු නිසා, මං ටිකක් සෙවිල්ලෙන් වටපිට බැලුව. මෙන්න බොලේ අඩි විස්සක් විතර උස කොහොඹ අත්තක් උඩ පූස් පැටිය ඉන්නව. මං හිතන්නෙ බල්ලන්ට බයේ ගහට නගින්න ඇති. පූසන්ට ගස් නගින්න මිසක් බහින්න උගන්නල නෑ කියනවනෙ. දැන් වැස්සත් අත ළඟයි. මේක එක්කො තෙමිල නහී. නැත්තං බල්ලන්ට අහු වෙනව. ගේ ළඟ ආයත‍නයේ සෙකුරිටි මල්ලි කෙනෙක් එක්ක බොහොම අමාරුවෙන් පූස් පැටිය බිමට ගත්ත. අරගෙන ඌව ගෙදරට අරගෙන ඇවිත් කාමරයක් අස්සට දැම්ම, උදේට පරිස්සම් ඇති තැනකට ගිහින් දාන්න හිතාගෙන.

රෑ වෙලා නිදාගත්ත නිසා උදේ ඇහැ ඇරුනෙ ටිකක් දවල් වෙලා. බිරිඳ පාන්දර නැගිටිනව පුරුද්දක් වශයෙන්. කුස්සියට යනකොට පූස කෑ ගහනව ඇහිල, මී කරදරයෙන් බේරෙන්න කදිම අවස්ථාවක් කියල හිතාගෙන පූස් පැටියට සීනියි පොල් ටිකකුයි කලවම් කරල දීල. එහෙම දුන්නහම පූසො යන්නෙ නැහැයි කියනවනෙ. උදේ මං නැගිට්ටට පස්සෙ මට කිව්ව කොහෙන්ද මංද පූස් පැටියෙක් ගෙට ඇවිත් හිටියයි කියල. රෑ වෙච්ච සංගදිය එයා දන්නවැයි.

ඔන්න ටික දවසක් ගිහාම පූසි පැටව් හතර දෙනකුම දැම්ම. දැන් හැබැයි ආසාවට තියාගත්ත වගේ නෙවෙයි, පූස් පැටව් ගේ පුරාම ජරා කරන්නයි, අ‍ැ‍ඟේ පැටලෙන්නයි ගියාම කරදර ගොඩයි. පැටව් ටික ඩිංගක් ලොකු වෙනකොට අපි තීරණය කළ උන්ව ගමේ ගිහින් දාන්න. ඒ පැත්තෙ ඉන්න බල්ලෝ අපේ ගෙවල් පැත්තෙ ඉන්න එවුන් වගේ දරුණු පාහර බල්ලො නෙවෙයි. පූස් පැටව් හඹාගෙන ගිහින් මරල දාන්නෙ නෑ. හැබැයි මට තේරිලා තිබුනු දෙයක් තමයි මේ පූසි පැටවුන්ට ගොඩක් ආදරේ කරන බව. ඒ නිසා මං යෝජනා කළ පූසියි පැටවු හතර දෙනායි, පස් දෙනාවම ගිහින් දාමු කියල.

අවුරුද්දට ‍ගමේ යන දවසේ කාර් එක පිරෙන්න බඩු මුට්ටු. අපි දෙන්නයි, දරුවො දෙන්නයි, පූසියි, පැටව් හතර දෙනයි දාගත්තට පස්සෙ කාර් එක ඇතුලෙ හැරෙන්නවත් ඉඩ නෑ. කොහොම හරි කිලෝ මීටර් දෙක තුනක් යද්දි තේරුනා පූසි ආම්බාම් කරගන්න අමාරු බව. පූසෝ කොහොමත් ගෙවල් දාල යන්න කැමති නැහැයි කියනවනෙ. ඉතින් ආපසු හරවගෙන ආව ගෙදරට. ඇවිත්, පූසිව එළියට දැම්ම. පැටව් හතරදෙනා විතරක් අරගෙන අපි ගමේ ගියා.

අවුරුද්දට මහගෙදරට නෑයො එනව. පූස් පැටව් දිහා බලනව. එක නෑයො කට්ටියක්, පූස් පැටව් ඉල්ලුවා. අපේ පුතාල කැමති නෑ දෙන්න. ඒත් හතර දෙනාම ගෙදර තියාගෙන ඉන්න එක අමාරුයි. පස්සෙ තීරණය කළා දෙන්නෙක් විතරක් දෙමු කියල.

ඉතින්, සිංහල අවුරුද්දෙන් පස්සෙ ආපසු අපේ ගෙදර ආවෙ ඉතුරු පැටව් දෙන්න ‍ගමේ තියල. දවස් පහකට පස්සෙ පූසිට පැටවු අමතක වෙලා ගිහින් ඇති කියලයි අපේ හිතේ තිබුනෙ.
මෙන්න වැඩේ, අපි ආපු වෙලාවෙ ඉදන්ම පූසි අඬ අඬා පැටව් හොයනව. කාර් එක අස්සෙ හොයනවා. පැටව් කලින් හිටපු තැන්වල, දොරවල් අස්සෙ, මිදුලෙ, හැම තැනම හොයනව. රෑට නිදාගන්නෙ නෑ. කෑ ගහ ගහ පැටව් හොයනව. මට නින්ද යන්නෙ නෑ ඒ ඇඬිල්ලට. රෑ මං නැගිටල ඇවිත් බැලුව. මෙන්න පූසි මගේ ළඟට ඇවිත් අර මරණෙන් ගලවගත්තු එළ වැස්සියක් හාමුදුරුනමකට වැන්ද වගේ වැන්ද. මට හිතුනෙ මේක පැටව් හොයල දෙන්න කියල මගෙන් ඉල්ලනවයි කියලමයි.

බැරිම තැන මං තීරණය කළා ආපසු ගමේ ගිහින් ඉතුරු වෙලා හිටපු පැටවු දෙන්නව ගෙනත් දෙන්න ඕනැ කියල. අම්මට කෝල් එකක් දීල කිවුව පැටවු දෙන්න කාටවත් දෙන්න ‍එහෙම එපා කියලා. අවුරුද්ද දවසේ, ඒ කියන්නෙ 13 සිකුරාදා ගමේ ගෙනිච්ච පැටව් දෙන්න 20 සිකුරාදා රෑ මං අරගෙන ආව. ගෙදරට ‍‍එනකොට රෑ දහයයි වෙලාව. ඇවිත් කාර් එක නැවැත්තුව විතරයි පූසි දුවගෙන ආව. නැග්ග කාර් එකට. හොයන්න පටන් ගත්ත කෑ ගගහ. මං පූස් පැටව් ටික ඩිකියෙ දාගෙන ආවෙ. නැත්තං උං හැම තැනම දඟලනව, එළවන්න බෑ වාහනේ. ගෙදරට එනකොට උන්ට හොඳටම නින්ද ගිහින් හිටියෙ.
ඉතින් මං කළේ කාර් එකේ පිටි පස්සෙ සීට් එක ගලවලා ඩිකියෙ හිටපු පැටව් දෙන්නව එළියට ගත්ත එක. අප්පට සිරි. පැටව්න්ට අම්ම අඳුරගන්න බෑ. උන් බයවුනා. පූසිට මාර අප්සෙට්.
පස්සෙ පැටව් දෙන්න ගෙට ගෙනාව. ටික ටික උන් පුරුදු වුනා. පූසි මාර හැපී. උඩ පනිනව. සෙල්ලම් කරනව. ඌත් ආයෙම තරුණ වෙලා. ඒත් ඌට ‍ෙත්රිලා වගේ පැටව් අඩු බව. ආයෙත් කාර් එක ළඟට ගිහින් බැලුවා. අහු මුළු වල හෙව්වා. කොහොම හරි ටිකක් වෙලා ගියහම ගානක් නැතුව ගියා.
ටික වෙලාවකට පස්සෙ, පූස් පැටව් දෙන්න සෙල්ලම් කරන්න පටන් ගත්ත. ඒක බලාගෙන හිටපු පූස් අම්මත් ගියා පැටව් එක්ක සෙල්ලම් කරන්න. පූස් පැටව් උඩ දානව. ඒක පැටවුන්ට ඔරොත්තු දෙන්නෙත් නෑ ‍වගේ. පස්සෙ පූසිට ටිකක් සැර කරල එහෙම කොන්ට්‍රොල් කරගත්ත. මේ කිව්වෙ ඊයෙ රෑ තත්වය. දැන් අද වෙනකොට ටිකක් නෝමල් කට්ටියම. ඒත් පූසිට හැම වෙලාවෙම පැටව් දෙන්න පේන්න ඕනැ. දකින්න නැත්තං කෑ ගහනව. ආයෙත් උස්සගෙන යයි කියල ඌට සැකයි.

දැන් මේ කතාව අහපු මට හිතුන දේ මේකයි. අරැණි ශපීරෝ කියන්නෙ සත්තුන්ගෙ මොල‍යේ තියන වෙනස්කමක් නිසා, උන්ට මිනිස්සුන්ට වගේ මතකයක් නෑ, හිතන්න බෑ ආදී ව‍ශයෙන්. ඒත් මේ පූසිට දවස් හතක් ගිහිල්ලත් පැටවු ගැන අමතක කරන්න බැරි වුනා. සමහර විට ඊ ළඟ මුරේ පැටවු දැම්මහම අමතක වෙන්න ඉඩ තිබුන. ඒ විතරක් නෙවෙයි. පැටවු කාර් එකේ අරගෙන ගිය බව ඌට මතක තිබිල තියනව. ආයෙත් පැටව් අරගෙන යයි කියන සැකය ඇති වෙලා තියනව.

ඉතින් මගේ තර්කය මේකයි.

සත්තුන්ගෙ මොලේ කෑල්ලක් අඩු නිසා උන්ට මතක නැති වෙනව නෙවෙයි. උන්ගේ මොලේ වර්ධනය අඩු නිසා, මතකයේ අඩුවක් ඇති වෙනව පමණයි. මිනිස්සු එක්ක ළඟින් ආශ්‍රය කරද්දි උන්ගෙ මොළයත් වර්ධනය වෙනව වගේ. අපි පූසන්ට වැඩියෙන් ආදරය කරද්දි, උන් පුරුදුවෙනව පැටවුන්ටත් වැඩියෙන් ආදරය කරන්න. සතුන්ගෙ මොළය සහ මිනිස් මොළය අතර ඩිජිටල් වෙනසක් නෑ. තියෙන්නෙ ඇනලොග් වෙනසක්.

1 comment:

  1. ලස්සන පෝස්ට් එකක්... හිතන්න දෙයකුත් ඉතිරි කරලා තියෙන්නේ !!!

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.