2012-03-07

Speaking English our way අපි නොදන්න ඉංගිරිසිය (අනතුරු ඇඟවීමක්)


මේ දවස්වල මොබයිල්මෑන් ගෙනයමින් පවතින රාවණා රජතුමා සහ සිංහල ජාතිය පිළිබඳ සංවාදාත්මක විමසුම පොඩ්ඩකට විතර අත්හිටුවලා මේ වගේ පෝස්ට් එකක් දාන්න හිතුවේ මොබයිල්මෑන්ට අහන්නට ලැබුනු එක්තරා ආරංචියක් නිසායි. මේ ආරංචිය මොබයිල්මෑන්ට ලබාදුන්නු අය සිද්ධිය පිළිබඳව එහෙමට දැනුම්වත් වී සිටියේ නැහැ.
මේ දවස්වල ජයටම කරගෙන යන වැඩසටහනක් තමයි, අපේ විදිහට ඉංගිරිසි කතා කරමු කියන එක. මේක බැලූ බැල්මට බොහොම ජාති හිතෛෂී වැඩසටහනක් කියල තමයි පේන්නෙ. ඒ ‍වගේම ඒ ගැන කතා කරන්නෙත් එවැනිම පදනමක ඉඳල.

ලංකාවේ බොහෝ දෙනකුට සුද්ද වගේ ඉංගිරිසි කතා කරන්න බැහැ. හැබැයි අනිත් පෙරදිග බොහෝ රටවලට වඩා ලංකාවේ අයගෙ ඉංගිරිසි දැනුම සහ ඉංගිරිසියෙන් යමක් කීමේ, තේරුම් ගැනීමේ හැකියාව ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම වැඩියි කියන එකයි මොබයිල්මෑන්ගෙත් අදහස. (තර්කයට එන අයට කළින්ම පැහැදිළි කරන්න එපායැ. ලංකාවේ ජනගහණයෙන් සියයට යම් ගණනක් ඉංගිරිසියෙන් කථා කරන්න දන්නවනම්, අනිත් පෙරදිග රටවල් ගත්තහම ඒ රටේ ජනගහණයෙන් ඉංගිරිසි කතා කරන්න පුළුවන් අය සියයට ගණනක් වශයෙන් අපේ රටට වඩා අඩුයි කියලයි මේ කියන්නෙ)

මේ සංඛ්‍යාලේඛණ මොබයිල්මෑන් සතුව නැති වුනත් රටේ තොටේ ඇවිදීමෙන් සහ වෙනත් රටවල ඇවිදීමෙන් වගේම වෙනත් රටවල ඇවිදපු අය එක්ක කරපු කතා බහෙනුත් එක් කරගත්ත අත්දැකීම අනුවයි ඒ වගේ අදහසක් මොබයිල්මැන්ට ඇවිත් තියෙන්නෙ.

ඒ වගේම උච්චාරණය ගැන සළකල බැලුවහම ලංකාවේ මිනිස්සු එක්ක ඉංගිරිසි කතා කරන්න සුද්දටවත් බැහැයි කියල සමහර අය කියනවනෙ.  මේකෙන් අදහස් කරන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ අනුකරණ හැකියාව වැඩි කම වෙන්නට පුළුවනි. කොහොම වුනත් මේ තත්වයේ ප්‍රතිපලයක් විදිහට විදේශීය ශ්‍රම වෙළඳපොල තුළ ලංකාවේ අයට වැඩි වටිනාකමක් ලැබෙනවයි කියන එක ඉතා පැහැදිළි කාරණයක්. ඒ වගේම, කළාපයේ අනිත් රටවල අයට ඒක යම් තර්ජනයක් කියල කියන්නත් පුළුවනි.

ඒ නිසා. මේ සන්දර්භය ඇතුලේ ලංකාව පරද්වන්නනම් එක්කෝ අනිත් රටවල අයත් සුද්දා වගේ ඉංගිරිසි කතා කරන්න පුරුදු කරවන්න වෙනව. එහෙම නැතිනම්, ලංකාවේ අයටත් ලෝකල් ඉංගිරිසි භාෂාවක් කතා කරවන්න වෙනව.

ඒ වගේම තවත් පැත්තක් තියනව. ලංකාවේ එදා ඉඳන් හිටපු කොම්ප්‍රදෝරු පෙළැන්තිය ඉංගිරිසි භාෂාව කඩුවක් හැටියට පාවිච්චි කළා. පළිහක් වෙනුවට කඩුවක්. ඔවුන් සාමාන්‍ය ජනතාව මෙල්ල කරන්න භාවිතා කරපු කඩුව තමයි මේ ‍ෆ්ලුවන්ට් ඉංගිරිසි භාෂාව. සාමාන්‍ය ජනතාවගේ ඉංගිරිසි දැනුම සමහර විට ඔවුන්ට වඩා වැඩි වුනත් අර ෆ්ලුවන්ට් ඇක්සන්ට් පුරුදු නැතිකම නිසා කැපෙනවා. මේ තත්වය නැති වුනොත් ඒක කොම්ප්‍රදෝරුවන්ට තර්ජනයක්.

කොහොමත් ලංකාවෙත් ලෝකල් ඉංගිරිසි කෑලි තියෙනව. මෙන්න උදාහරණ කීපයක්.
ටී එකක් කියන්නෙ මිල්ක ටී එකක් හෙවත් කිරි සහිත තේ එකක්.
බවුසරයක් කියන්නෙ ටෑන්කර් ට්‍රක් එකක්.
ඔයා යනවනෙ කියන යෙදුම යූ ආ ගොයින්‍ග් නෝ කියලයි කියන්නෙ.
ඒ වුනත්, මයි ඩියර් වෙයාර් ආර් යූ ගොයිං ටුඩේ වගේ කතා නං ලංකාවෙ ඇහෙන්නෙ නෑ. පේව්මන්ට් එකේ බඩු විකුනන කොල්ලා ගොඩක් ලස්සනට ඉංගිරිසි කතා කරනව. ලංකාවේ ඉස්කෝලෙක සාමාන්‍ය පෙළ පංතියට එනකන් ඉගෙන ගත්තු ළමයෙකුට සාමාන්‍ය ඉංගිරිසි සංවාදයක් තේරුම් ගන්න එච්චරම අමාරු නෑ. ගැටළුව තියෙන්නෙ ඇක්සන්ට් එක තේරෙන්නෙ නැති කම.

අද මේ ලිපියෙන් කියන්න අදහස් කළේ, මෙහෙම හොඳට ඉංගිරිසිය කතා කරන අපේ අයට දැන් මේ අපේ හැටියට ඉංගිරිසි කතා කරන්න උගන්නන්න ගියාම, අර විදේශීය ශ්‍රම වෙළඳපොල ඇතුලෙ අපේ වටිනාකමත් බහිනව නේද කියන එකත්, කොම්ප්‍රදෝරුවට තර්ජනයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ඇහිරෙනව නේද කියන එකත් ගැනයි. ස්පීකින් ඉංග්ලිෂ් ඉන් අවර් වේ ගැන සන්ඩේ ටයිම්ස් පත්‍තරේ ගිය ලිපියක් කියවද්දි මේ අදහස යම් දුරකට තහවුරු වුනා. ඒ ලිපියෙන් කියන්නෙත්, ආරම්භයේදී අපේ විදිහට ඉගෙනගෙන නවතින්නෙ නැතුව උන්ගෙ විදිහට කතා කරන්නත් පුරුදු වෙන්න කියලයි.

කවුරු මොනව කිව්වත්, ඕනෑම භාෂාවක් නිවැරදිව කතා කරන්නෙ ඒ භාෂාව තමන්ගෙ මව් භාෂාව හැටියට කතා කරන රටේ මිනිස්සුනෙ. ඒ මිනිස්සු භාෂාවේ යම් දෙයක් වෙනස් ආකාරයට භාවිතා කරනවනම් ඒ විදිහ නිවැරදි විදිහ බවට පත් වෙනව. මෙහෙ ඉන්න අපි ඉංගිරිසි කාරයාගේ භාෂාව අපට ඕනැ හැටියට හදාගන්නව කියන්නෙ එක්තරා විකාර අදහසක් කියන එකයි මොබයිල් මෑන්ගෙ අදහස. භාෂාවක් කියන්නෙ යම් අදහසක් සන්නිවේදනය කරන්නට සම්මත කරගත්තු ශබ්ද හැසිරවීමේ පටිපාටියක් වගේ එකක්. ඒ සම්මතේ ඇති වෙලා තියෙන්නෙ ඒ භාෂාව මව් භාෂාව හැටියට කතා කරන මිනිස්සු අතර.  අපේ ගෙදර ඉන්න අයට මං ඉගැන්නුවොත් මීය කියන්නෙ පූසට ය කියල ඒක තේරෙන්නෙ අපේ ගෙදර ඉන්න මිනිස්සුන්ට විතරයි. අපේ ක්‍රමේට ඉංගිරිසි කතා කරන්න හදන්නෙ අපේ එවුන් එක්කලම නේද?

ඒක ඉංගිරිසිය කෙසේ වෙතත් අපට අපේ මව් භාෂාවත් නැති වෙන පොටක් විය නොහැකිද?


ප ලි

කරුණාකර පළමුවැනි කමෙන්ට් එකට මා දී ඇති පිළිතුරත් බලන්න. සමහරවිට මගේ ලිපිය පැහැදිළි මදි ඇති.

පින්තූර උපුටා ගත්තා මෙම තැන් වලින්
1. http://www.cbswords.com/default.php/cPath/21&docid=lwrbAgQCAe5I5M&img
2. FaceBook

4 comments:

  1. ලෝකයේ නොයෙක් නොයෙක් ජාතීන් ජීවත් වෙනව. කොහොම හරි ලෝකයේ භාවිතා කරන භාශාවක් වශයෙන් ඉංගිරිසිය තැනකට ඇවිත් තියෙන්නෙ. ප්‍රංශ ජාතීන් ඉංගිරිසි දැනගත්තත් ඒක පෙන්වන්නෙ නැහැ. ඕලන්දක් කාරයො කතා කරන ඉංග්‍රීසි තේරුම් ගන්න තෝල්කයෙක් ඕන. අයිරිශ් ජාතිකයොත් එසේමයි. වේල්ස් ජාතිකයො, ස්කොට්ලන්ත ජාතිකයො බ්‍රිතාන්‍ය රටවලට අයත් වුවත් උන්ගෙ ඉංගිරිසි අමුතුයි. ඉංගිරිසිය උපන් රටේ ඉංගිරිසි ජාතිකයො පවා කතා කරන්නෙ අමුතුම ඉංගිරිසියක්. කරුණු මෙහෙම තිබියදී යන්තම් අනෙක් එකාට තේරෙන පරිද්දෙන් ඉංගිරිසිය කථා කරාට ඇති වැරැද්ද මොකක්ද?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි. මා හිතන්නෙ ඔබ හරියටම තේරුම් අරගෙන නෑ මා කියූ දේ. බොහෝ රටවල අයට වඩා අපේ රටේ අය “හොඳින්” ඉංග්‍රීසි කතා කරනවා. දැන් මේ ගෙනයන වැඩපිළිවෙල “වැරදියට” ඉංගිරිසි කතා කරවන්නත්, ඒ හරහා ජාත්‍යන්තරය තුළ අපේ මිනිස්සුන්ට තියෙන තැන නැති කරන්නත් ගනු ලබන උත්සාහයක් වෙන්න පුළුවන් කියලයි මා කියන්නේ.
      මගේ ලිපියේ තියෙනව මෙහෙම වගන්තියක්. //ඒ වගේම උච්චාරණය ගැන සළකල බැලුවහම ලංකාවේ මිනිස්සු එක්ක ඉංගිරිසි කතා කරන්න සුද්දටවත් බැහැයි කියල සමහර අය කියනවනෙ.//
      අනිත් එකාට යන්තම් තේරෙන පරිදි ඉංගිරිසි කතාකරන හැටි උගන්වන්නනම් පිටරට යවල ගුරුවරු පුහුණු කරවන්න ඕනැ නැහැනෙ.
      මා කියන්නේ, මේක “වැඩපිළිවෙලක්”. අපේ අය දැනට කරන දේ ගැන නෙවෙයි.

      Delete
  2. ඉංග්‍රීසි නිසා සිංහල භාෂාවට හරි දෙමළ භාෂාවට හරි හානියක් සිද්ද වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. භාෂාවක් තියෙන්නෙ අදහස් හුවමාරු කරගන්න මිසක් රැක ගන්න ඕන දෙයක් නෙමේ කියලායි මම හිතන්නෙ..
    කොහොම වුනත් අපේ විදිහට ඉංග්‍රීසි කතා කරමු කියලා උත්සාහ කරලා තියෙන්නේ අපේ තුල ඉංග්‍රීසි කාතා කිරීමට ඇති සබකෝලය නැති කිරීම බවයි මගේ අදහස..

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි නිසා සිංහල භාෂාවට හරි දෙමළ භාෂාවට හරි හානියක් සිද්ද වෙන්නෙ නෑ. ඔබ හරි.
      භාෂාවක් තයෙන්නෙ අදහස් හුවමාරු කරගන්න. ඒකත් හරි.
      අපේ විදිහට ඉංග්‍රීසි කතා කරමු කියලා උත්සාහ කරලා තියෙන්නේ අපේ තුල ඉංග්‍රීසි කාතා කිරීමට ඇති සබකෝලය නැති කිරීම. අපි හිතමු හරි කියල ඒකත්.
      අපි අපේ විදිහට තමයි කතා කරන්නෙ.
      අපට අපේ විදිහට කතා කරන හැටි උගන්වන්න එන්නෙ පිටරට මිනිස්සු. එතනයි ගැටළුව තියෙන්නෙ.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.