2012-03-28

ඔබට අමතක වෙනවාද? ඒකට හේතුව කුමක්ද?

මොබයිල්මෑන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනගන්නා අවධියේ එක් දිනක් ගුරුතුමා සමඟ සුහද කථාබහක නියැලීමට පංතියේ සිසුවනට අවස්ථාවක් ලැබුනා. සුහද කථාබහක් කීවත්, එදින කථා බහ කළේ ඕපාදූප නම් නෙමෙයි. ඉගෙන ගැනීම ගැන, මතු දිනක එළඹිය හැකි සරසවි ජීවිතය ගැන, අපේ අනාගතය ගැන, මේ වගේ පලක් ඇති දෙයක් පමණක් කතා කිරීමට අපේ ගුරුතුමා වගබලාගත් බව මොබයිල්මෑන් සිහි කරන්නේ අතිශය ස්තුති පූර්වකව.
අපේ එකෙක් ගුරුතුමාගෙන් මෙහෙම ඇහුවා. “සර්, අපි ඉගෙනගන්න දේවල් මතක තියාගන්න බෑනෙ. ඒකට මොකද කරන්නෙ?”
ගුරුතුමාගෙන් ලැබුනෙ අපූරු උත්තරයක්. “ඔයගොල්ලන්ට තියෙන ගැටළුව මතක තියාගන්න බැරි එක ද? ඔයගොල්ලන්ට කවදාවත් හිතුනෙ නැද්ද අපට මොනවහරි මතක තියෙන්නෙ කොහොමද කියල. මොකක් හරි දෙයක් මතක තියනව කියන එක පුදුම හිතෙන දෙයක් නෙවෙයිද?”
ඇත්ත නේන්නං. අපට කොහොමද මතක තියෙන්නෙ. අපි ඕනැම කෙනෙකුට (අමතක වීමේ රෝගයක් තියනවනම් හැර) මොනව‍ මොනව හරි මතක තියෙනව නෙ. අඩු ගණනෙ ගෙදර යන්න පාර මතකයි. යාලුවන්ගෙ නම් මතකයි. ඒව කොහොමද මතක තියෙන්නෙ. කොහෙද ඔය මතකය කියන එක තියෙන්නෙ. මෙමරි චිප් එකක් හරි ඩිස්ක් එකක් හරි ඒ වගේ වෙනත් දෙයක් හරි තියෙන්න ඕනැ මෙමරියක් හෙවත් මතකයක් ගබඩා කරල තියාගන්න. ඉතින් අපේ ඔළුවෙ හරි වෙන තැනක හරි එහෙම එකක් තියෙනවද? තියනවනම් මොකක්ද ඒක? හොඳට මතක තියන කෙනෙක්ගෙ ඒ කෑල්ල සර්ජරි එකකින් අයින් කරල වෙන කෙනකුට බද්ධ කළොත් මොකද වෙන්නෙ?
අපට සමහර වැඩ කරන්න පුරුද්දක් තියනව. මොකක්ද මේ පුරුද්ද කියන්නෙ. නිරායාසයෙන් වගේ අවශ්‍ය විදිහටම අත පය ඇඟිලි හසුරුවන්න පුළුවන්කම තමයි පුරුද්ද කියන්නෙ. දැන් මේ ලිපිය ටයිප් කරනකොට අකුරු තියෙන තැන් මොනවද කියල නොසිතාම ලියන්න හිතෙන වචනය ටයිප් වෙනව. අපේ ඇඟිලි ඉබේම නියමිත යතුර උඩට ගිහින් ඒක එබෙනව. මේක කොහොමද වෙන්නෙ? මතකයත් එක්ක පුරුද්දෙ තියන සම්බන්ධය මොකක්ද?
අපි එකම දෙයක් නිතර නිතර කරනකොට ඒක අපට පුරුදු වෙනව. ඒ වගේම අපි එකම දෙයක් නිතර නිතර අහනකොට අපට ඒක මතක හිටිනව.
අපි කරන යම් දෙයක් තවත් දෙයක් කරන ගමන් කළොත් ඒක අපට පුරුදු වෙන්නෙ නෑ. අපට ඇහෙන දේත් අපි හිත නිරවුල්ව තියාගන අහගත්තෙ නැත්තං අපට මතක හිටින්නෙ නෑ.
අපි පුරුදු වෙන්න ඕනැ මතක තියාගන්න නෙවෙයි, හිත එකලස් කරගෙන පාඩමට ඇහුම්කන් දෙන්න.
අනිත් කාරනාව, පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනැ යම් දෙයක් තේරුම් ගන්න. හැම දෙයක් ම මතක තියාගන්න අමාරුයි. මූලික සංසිද්ධිය තේරුම් ගන්න පුළුවන් වුනොත්, එතනින් එහාට ගොඩනගාගන්න අපහසුවක් නැහැ.
කුඩා කාලෙ බොහොමයක් දෙනාට අමාරුයි චක්කරේ හෙවත් ගුණ කිරීමේ වගුව පාඩම් කරන්න. ඒ වුනත්, ඉලක්කම් දෙකක් ගුණ කරනකොට වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තහම චක්කරේ මතක නැති වුනත් හදා ගන්න අමාරු වෙන්නෙ නෑ.

ඉතිරි සල්ලි නොදුන්නාට මගියා කොන්දොස්තරගේ කණෙන් රිංගලා
2012 මාර්තු මස 28 09:32:06 | ඉංගිරිය නිමාලි කහවල

එය ඉංගිරිය නගරයේ සිට ගමන් ආරම්භ කරන ලද පෞද්ගලික බස් රථයකි. යාබද අසුනේ සිටි තැනැත්තා කොන්දොස්තරට රුපියල් 20ක නෝට්ටුවක් දිගු කළේය. ගමන් ගාස්තුව රුපියල් 16කි. මගියාට ඉතිරි රුපියල් 4 දීම කොන්දොස්තරට ඇඟෙන් ඇටයක් දීමටත් වඩා අසීරු කාර්යයක් බව පෙනුණි.
කාර්යබහුල බවක් බොරුවට මවා පාමින් හැසිරෙන කොන්දොස්තරගෙන් තම ඉතිරි මුදල ලැබෙන පාටක් නොමැති බව දුටු මගියා ඔහුගේ අතට තට්ටුවත් දැමීය.
‘‘මගේ ඉතුරු?.....’’ ඔහු ප‍්‍රශ්න කළේය.
‘‘කීයක්ද මහත්තයා දුන්නේ......කෙහෙන්ද බහින්නේ....’’
දැනට තත්පර කීපයකට පෙර තමන් මුදල් ගත් මගියාගේ ගමනාන්තය අමතක බව බොරුවට රඟ දක්වමින් හැසිරුණු කොන්දොස්තරගේ ප‍්‍රශ්නවැලට මගියාද මුවින් නොබැණ ඉවසමින් පිළිතුරු දුන්නේය.
‘‘මට මහත්තයා රුපියලක් දෙන්න මම එතකොට පහක් දෙන්නම්’’ කලිසම් කමිස සාක්කු පතුලේ පීරා සෙවුවද රුපියලක් සොයා ගැනීමට මගියාට නොහැකි විය. ඔහුට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ අතරය.
‘‘ආ...... කෝ දෙන්නකෝ පහ. මම රුපියලක් දෙන්නම්’’ කී ඔහු කොන්දොස්තරගෙන් රුපියල් පහක් ඉල්ලා ගත්තේය.
‘‘කෝ, මහත්තයා රුපියල?’’ කොන්දොස්තර ඇසුවේ තමන්ට දෙනවා යැයි කී රුපියල ලැබෙන පාටක් නොදුටු බැවිනි.
‘‘රුපියල......? රුපියලද.....? ඔහේ  ඕක මට නුදුන්න නම් මම රුපියල් 4ක්ම පාඩු විඳින්න  ඕනෑ. දැන් මේ වැඩෙන් ඔහේට පාඩු රුපියලනේ. දැන් මං ළඟ දෙන්න රුපියලක් නෑ. මම බහින්න කලින් මට රුපියල් 4ක් දෙනවා. එතකොට මම මේ පහ දෙන්නම්’’
වෙඩි බෙහෙත් පුපුරනවා වැනි හඬින් මගියා දුන් පිළිතුරට කොන්දොස්තරට ප‍්‍රති උත්තර නොමැති විය.
‘‘හොඳ වැඬේ, ඔහොම කරලා මදි, නියමයි......’’ වැනි වදන් බස් රියේ තැන් කීපයකින්ම ඇසෙද්දී, මගියා ඉල්ලූ ලෙස දීමට රුපියල් හතරක් අතේ තිබුණ මුත් ඔහුට රුපියල් පහම තියා ගන්නට ඉඩහැරි කොන්දොස්තර හීන් සීරුවේ එතනින් ඉදිරියට ගියේය.
මේ කතාව අද ලංකාදීප පත්තරේ තිබුනෙ.

1 comment:

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.