2012-12-19

ලෝක විනාශය කළුවර දින තුනකට පල්ලම් බසී

මුලදී දෙසැම්බර් 12වැනිදාට නියමිතව තිබී පසුව 2012 දෙසැම්බර් 21වැනිදාටත්, අනතුරුව 3012 දෙසැම්බර් 21වැනිදාටත් කල් දමන ලද ලෝක විනාශය දැන් දෙසැම්බර් 22, 23 හා 24 දිනයන්හි ඇති වන කළුවරක් දක්වා පල්ලම් බැස තිබේ.

මේ කළුවර ඇති වන්නේ ලෝකය නැවත එලයින් වන නිසා බවත් වැඩිදුරටත් කියැවේ. ඒ කියන්නේ ලෝකය ගමන් කරන පීල්ල මාරු කිරීමක් වැනි දෙයකි. විද්‍යාත්මක බොරු කියා කියන්නේ මේවාටය. පෙර ලිපියකදී මා සඳහන් කළාත් මෙන් ඒවා අසම්පූර්ණ විද්‍යා ප්‍රබන්ධයෝ වෙති. අසම්පූර්ණ යන වචනය යෙදුවේ එම ප්‍රබන්ධයන් අවිද්‍යාත්මක බැවිනි. විද්‍යාත්මක වේශයක් ගෙන තිබුනත්, එම ප්‍රකාශ කිරි ලෙසකින් විද්‍යාත්මක තර්කනයකට අසු වන්නේ නැත. මෙහිදී විද්‍යාත්මක යන වචනය යොදන ලද්දේ ඇතැම් අය කියන බටහිර විද්‍යාව යන අර්ථයෙන් නොව අතාර්තික යන අර්ථයෙනි.

ලෝකය සූර්යයා වටා කරකැවෙන අතර එම නැවත පීලි ගත කරන්නේ වෙනත් සූර්යයෙක් වටා පරිභ්‍රමණය වීමට විය යුතුය. එහෙත් එසේ සූර්යයන් මාරු කිරීමේ හැකියාවක් නැත්තේ වෙනත් සූර්යයෙක් අහල පහළ පේන තෙක් මානයක වත් නොමැති බැවිනි.

දැනට ලෝකය පවතින තුන්වැනි මානයෙන් ඔබ්බට ගොස් ශන්‍ය මානයක් කරා ලෝකය ගමන් කරන බවත්, කළුවර දින තුන අවසන් වූ පසුව නව ලෝකයක් දකින්නට හැකි බවත් ඉහත කී ප්‍රබන්ධයෙන් කියැවේ. මේ ශුන්‍ය මානය හෙවත් සීරෝ ඩිමෙන්ෂන් එක යනු කුමක්දැයි කියා ඒ ප්‍රබන්ධය කළ එකා‍ගේ අප්පුච්චාවත් දන්නේ නැත. දින තුනක් කළුවරේ සිටියහොත් අප සැම සීතලෙන් මිය යනු නියතය. ඒත් ඌ කියන්නේ ඉවසීමෙන් බිය නැතිව සිටියහොත් ජීවිතය බේරාගැනීමට හැකි බවය. මේවා කියවා දැනටමත් ශරීරයේ මත්ස්‍යයන් නර්තනය කරමින් සිටින බැවින් මොබයිල්මෑන්ටනම් සීතල නොදැනෙනු ඇත.

2012-12-18

දැන් එතකොට කවදද මේ ලෝකෙ විනාශ වෙන්නෙ?

ලෝක විනාශය දෙසැම්බර් 21වැනිදා සිදු වනු ඇතැයි ඔබ විශ්වාස කළේදැයි 22වැනිදා කවරකුගෙන් හෝ විමසුවහොත්, අපෝ නෑ, කව්ද ඕව විශ්වාස කරන්නෙ කිය කියනු නොඅනුමානය. එසේ වුවද, ලෝක විනාශය ගැන කියැවෙන ලිපි එකක් නෑර කියවන්නටත්, ඒවා ප්‍රචාරය කරන්නටත් (කටකතාවලින් හෝ ෆෝවර්ඩ් කරන ඊ මේල් මගින්) කිසිවකු පසුබට වන්නේ ද නැත.

මේ රටේ බොහෝ දෙනෙක් තමන් බෞද්ධයින්යැයි කියාගනිති. එමෙන්ම, රහසින් හෝ කේන්දර බලවති. ජ්‍යෝතිෂ්‍යය විශ්වාස කරති. තවත් අයෙක් "බටහිර දැනුම" හෙළා දකිති.

මේ අවුරුද්දේ ලෝක විනාශය වන බව අපේ රටේ පැවතෙන කිසිම ආගමකින්, දර්ශනයකින්, ශ්‍රාස්ත්‍රයකින් පෙන්වා දෙන්නේ නැත. එසේ වන බව කීවායැයි කියන්නේ (පසුව සංශෝධන සහිතව) මායාවරු නමැති ඉපැරණි ශිෂ්චාචාරයකට අයත් දින දර්ශනයකි. මුලදී මෙම දිනය දෙසැම්බර් 12 ලෙසත් පසුව දෙසැම්බර් 21 ලෙසත් ප්‍රසිද්ධියට පත් විය.

අද මේ මා ලියන්නේ දෙසැම්බර් 21 දින ලෝක විනාශය හෝ අර්ධ විනාශයක් සිදුවන්නේදැයි විමසා බැලීමටනම් නොවේ. දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන හැටි විමසා බැලීමටයි.

අද ඊයේ මට ලැබුනු ඊ මේල් පනිවිඩයකින් සෝපාහාසාත්මකව කියැවුනේ ලෝක විනාශය 2013 දක්වා කල් දමන ලද බවය. එහෙත් ඒ ඊ මේල් පනිවිඩය හෝ ඊට පාදක වූ ෆේස්බුක් පිටුව නිර්මාණය වන්නේත් අදාළ දිනය ඔන්න මෙන්න තිබියදීය. මෙයට සමාන්තරව ලැබුනු තවත් ඊ මේල් පනිවිඩයකින් කියැවුනේ ලෝක විනාශය නියත බවත්, නාසා ආයතනය සහ අමෙරිකානු රාජ්‍ය යාන්ත්‍රණය විසින් ඒ කරුණ සඟවා තබා ගන්නා බවය. මේ ඊ මේල් පනිවිඩ ගැන ඔබට කියන්නේ ඒවා මගේ මිත්‍රයෙකු හෝ ඥාතියකු විසින් නොව මා කවුදැයි නොදන්නා අයකු විසින් මා ඇතුළු මා මෙන්ම එකිනෙකා නොහඳුනන තවත් අය වෙත එවන ලද ප්‍රසිද්ධ පණිවිඩ නිසා ය.

මට ලැබුනු තවත් ඊ මේල් පණිවිඩයක් වඩාත් ඉහළ සාහිත්‍යමය අගයක් ගන්නා එකකි. එය සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැළකීමට පවා පුළුවන. එයට අනුව, නුදුරු දිනයකදී බාහිර විශ්වයකින් පැමිණෙන්නා වූ ජීවීන් කොටසක් විසින් අපට එරෙහිව යුධ ප්‍රකාශ කරනු ඇත. එසේ යුධ ප්‍රකාශ කරන එම සත්වයන් පරාජය කිරීමට අධි සම්පීඩිත ජල කදම්බ භාවිතා කළ යුතුය. ලේක් හවුස් ආයතනයෙන් නිකුත් කළ සතුට චිත්‍රකතා පත්‍රයේ මංගල කලාපයේ තිබුනේ ක්‍රිස්තු වර්ෂ 3000දී (එය 30,000ද කියා මට හරියටම මතක නැත) මිනිසාට යෝධ කුහුඹුවන් සමග යුද වදින්නට සිදු වන බවයි. සතුට පත්තරයේ කතාවනම් විද්‍යා ප්‍රබන්ධයක් ලෙසටම නිර්මාණය කරන ලද්දකි. එසේ වුවද, වර්තමානයේ පැතිරෙන මේ පිටසක්වල ජීවී ආක්‍රමණය පිළිබඳ කතාව එවැනි ප්‍රබන්ධයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නැත.

මේ ප්‍රබන්ධ නිර්මාණ කරුවන් සිය අර්ධ දැනුම යොදාගෙන නිර්මාණය කරන මේ ප්‍රබන්ධයන්ට, එම විද්‍යාත්මක සංසිද්ධීන් පිළිබඳ අර්ධ දැනුමටත් අඩු දැනුමක් සහිත වූවන් ඉතා පහසුවෙන් රැවටීමට හැකිය. සම්පීඩිත ජල ප්‍රහාරයකින් පිටසක්වල ජීවීන් විනාශ වන්නේ ඔවුනගේ සිරුරු විදුලි චාප ලෙස සෑදී ඇති බැවින් බව එම කතාන්තරයේ සඳහන් ය. විදුලි චාපයක් ජලයෙන් නිවා දැමීමට හැකියාව නැති බව දන්නේ අතළොස්සකි.

විද්‍යාත්මක වේශයෙන් මේ කරනු ලබන ප්‍රබන්ධයන්ගේ න්‍යායාත්මක වැරදි අසුවන්නේ ඒවා හොඳින් අධ්‍යයනය කළ හොත් පමණකි. ‍එම පිටසක්වල ජීවීන් පෘථිවිය වෙත පැමිණෙතැයි කියනු ලබන යානාවන් (පියාඹන පීරිසි) ක්‍රියාත්මක වන්නේ "කාන්දම් බලයෙන්" බවද එම ප්‍රබන්ධයෙහිම දැක්වෙන තවත් කරුණකි. යම් යානාවක් ක්‍රියාත්මක කිරීම සඳහා බලයක් තිබීම ප්‍රමාණවත් නොවන බව ප්‍රබන්ධ කරුවා අමතක කරයි. බලයකට කාර්යයක් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ එය ශක්තියක් බවට පත් වුවහොත් පමණකි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ ලොව උසස්ම ජාතිය තමන්ගේ ජාතිය බව විශ්වාස කරන සිංහළ බෞද්ධයන් පවා බෞද්ධාගමික ඉගැන්වීම් අමතක කරමින්ද, ජාතික දැනුම් පද්ධතිය නොසළකා හරිමින්ද, මේ ලෝක විනාශයේ කතාන්තරය විශ්වාස කරමින් සිටීම අතිශය කණගාටුදායක කරුණක් බවය.

2012-12-11

ශීතකරණය හා වායුසමනය



සාමාන්‍යයෙන් අප කවුරුත් දන්නා කරුණක් නම් යමක් වැඩිපුර තිබෙන තැනකින් ඉවත් කර අඩු කරනු මිස අඩුවෙන් තිබෙන තැනකින් ඉවත් කර තවත් අඩු කරන්නට නොහැකි, නැත්නම් අපහසු බවයි. එහෙත්, ශීතකරණය හෝ වායුසමනය සඳහා අපට මේ අසීරු දේ හෝ නොහැකි දේ කරන්නට සිදු වේ.

තේ කෝප්පය උණුසුම් වැඩිනම්, එය ඇල් වතුර භාජනයක් තුළ තැබීම හෝ පීරිසියකට දැමීම, නැතිනම් ඉහළ සිට පහළට වැක්කෙරෙන සේ ජෝගුවකින් තවත් ජෝගුවකට දැමීම අපේ පුරුද්දයි. ඇල් වතුර භාජනයක් තුළ උණු තේ කෝප්පය තැබූ විට තේ කෝප්පයේ උෂ්ණත්වය සහ ඇල් වතුරේ උෂ්ණත්වය එක හා සමාන වන තුරු තේ කෝප්පයේ උණුසුම අඩු වීමත්, ඇල් වතුර භාජනයේ උණුසුම වැඩි වීමත් අප අත් දැක තිබේ. පීරිසියකට දැමීමෙන් හෝ ඉහළ සිට පහළට වැක්කිරීමෙන් (තේ යාරයක්) වාතයේ ගැටෙන තේ ප්‍රමාණය වැඩි කිරීම මගින් ඉක්මණට පරිසර උෂ්ණත්වය තෙක් තේ කෝප්පයේ උෂ්ණත්වය පහළ දැමීමට හැකිය.මේ අවස්ථා දෙකේදීම අප කරන්නේ උෂ්ණත්වය වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයක් දක්වා “තාප ශක්තිය” ගලා යාමට සැළැස්වීමයි.

ජලය ගලා යන්නේ ඉහළ සිට පහළටය. නැතිනම් වැඩි පීඩනයක සිට අඩු පීඩනයකටය. එමෙන්ම තාප ශක්තිය ගලා යන්නේ උෂ්ණත්වය වැඩි තැනක සිට අඩු තැනකටය.
එසේනම්, ශීතකරණයකදී හෝ වායුසමන යන්ත්‍රයකදී සිදු වන්නේ කුමක්ද?

පරිසරයේ උෂ්ණත්වයට සමාන වූ හෝ ඊට වඩා අඩු අගයක පවතින දෙයකින් තාප ශක්තිය ඉවත් කළහොත් එහි උෂ්ණත්වය පහළ යනු ඇත. එහෙත්, තාපය ගලා යන්නේ උෂ්ණත්වය වැඩි තැනකින් අඩු තැනකට නම්, මෙම කාර්යය කරන්නේ කෙසේද? මේ සඳහා අපට අයිස් භාවිතා කළ හැකිය. අයිස් වල උෂ්ණත්වය අඩු නිසා, යමක් සීතල කිරීමට අයිස් යොදාගැනීමට හැකිය.

ඒත් ඉතින් අපි අයිස් සාදාගන්නේ කෙසේද? අයිස් සෑදෙන්නේ වතුරේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් බිංදුවක් වූ ‍විටයි. අයිස් සාදාගැනීමට ජලයේ උෂ්ණත්වය අඩු කළ යුතුය. ඒ සඳහා ජලයෙන් තාප ශක්තිය ඉවත් කළ යුතුය. එසේ ඉවත් කරන්නටනම් ජලයට වඩා තවත් අඩු උෂ්ණත්වයක ඇති යම් දෙයක් සොයා ගත යුතුය. 

තාප ශක්තිය ලබා දුන් විට යම් කිසිවක උෂ්ණත්වය වැඩි වන බවත් තාප ශක්තිය ඉවත් කළ විට උෂ්ණත්වය අඩු වන බවත් දැන් අපට වැටහෙමින් තිබේ. උෂ්ණත්වය අඩු වූ විට තාපය ඉවත් කිරීමට නොහැකි නිසා, තව දුරටත් තාප ශක්තිය ඉවත් කිරීමේ ගැටලුවට දැන් අපි මුහුණ දී සිටිමු.
තාප ශක්තිය ලබා නොදී යම් කිසිවක උෂ්ණත්වය ඉහළ දැමීමට බැරිද?

එසේ කරගන්නට පුළුවන් වුණොත්, ඉහළ උෂ්ණත්වයේ සිට පහළ උෂ්ණත්වය කරා තාප ශක්තිය ගමන් කරන බැවින් අපට එහි ඇති තාප ශක්තිය ඉවත් කළ හැකිය. එසේ ඉවත් කරනවාත් සමගම, එහි උෂ්ණත්වය ඉහළ දැමීමට සිදු කළ දේට ප්‍රතිවිරුද්ධ දේ කිරීමෙන් එහි උෂ්ණත්වය අඩු වන අතරම තාප ශක්තිය ඉවත් වීම නිසා, තව දුරටත් උෂ්ණත්වය අඩු වී අපේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකි වනු ඇත.

ඉහළින්ම පිහිට ඉඩමේ එකතු වන වැහිවතුර ගලා යන්නේ ඊට වඩා පහළින් ඇති ඉඩමේ හෝ පාරේ ඇති කාණුවකට නේද? පහළින්ම ඇති ඉඩමේ වතුර බැස යන්නේ කොහාටද? ඒවා කුඹුරකට, ඇලකට ගොස් අවසානයේදී මුහුදට ගලා යනු ඇත. ඒත් පොළොවේ හෝ කාණුවේ හෝ ඇලේ වතුර මට්ටමෙන් පහළ මට්ටමක සාදන ලද ගෙයකට එකතු වන වතුර ගලා යන්නට තැනක් නැත. එවැනි අවස්ථාවලදී අපි කරන්නේ එම වතුර පොම්පයක් මගින් ඉවතට ගැනීමයි.

මේ රූපය බලන්න.

මේ දැක්වෙන්නේ මා ඉහත කී උදාහරණයයි. ඇඳ ඇති එක් එක් නිවසේ වැහි වතුර පාරේ ඇති කාණුවට ගලා යයි. අවසානයේදී කාණුවේ වතුර ඉවතට දැමිම සඳහා පොම්පයක් භාවිතා කරන්නට සිදු වේ. එයට හේතුව, කාණුවේ අවසානය මුහුදු මට්ටමටත් වඩා පහළින් පිහිටීමය.

මුහුදු මට්ටමෙන් පහළට ගිය විට වතුර පොම්පයක් භාවිතා කර ඉවත් කරන්නට සිදු වෙනවා වගේම, පරිසර උෂ්ණත්වයෙන් පහතට ගිය විට තාපය ඉවත් කරන්නටත් යම් උපක්‍රමයක් භාවිතා කරන්නට සිදු වේ.
වායු සමීතරණ පද්ධතියකදී හෝ ශීතකරණ පද්ධතියකදී පරිසර උෂ්ණත්වයෙන් පහළට යාමට නම් තාපය ඉවත් කිරීමේ උපක්‍රමයක් භාවිතා කරන්නට සිදු වේ. වතුර ගලා යාමට කාණුව භාවිතා කළාක් මෙන් තාපශක්තිය ගෙන යාමට භාවිතා කරන්නේ ශීතකාරකය නම් ද්‍රව්‍යයයි. එක් එක් නිවසේ වතුර කාණුවට එකතු කරන්නාක් මෙන්ම, එක් එක් ස්ථානයේ ඇති තාපය නලයක් තුළින් ගමන් කරන ශීතකාරකය විසින් උරා ගනු ලබයි. ශීතකාරකයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා පහළ නිසා මේ උරාගැනීම බාධාවකින් තොරව සිදු වේ.

දැන් මේ ශීතකාරකයේ ඇති තාපය ඉවත් කරන්නට නම් කාණුවේ වතුර ඉවත් කිරීමට පොම්පයක් භාවිතා කළාක් මෙන් සම්පීඩකයක් භාවිතා කර ශීතකාරකය වැඩි පීඩනයකට ලක් කළ යුතු වේ. පොම්පයෙන් ජලයේ මට්ටම ඉහළ දැමුවාක් මෙන් සම්පීඩනය කළ පසු ශීතකාරකයේ උෂ්ණත්වය ඉහළ යයි.මෙසේ ඉහළ ගිය උණ්ෂත්වය සහිත ශීතකාරකයෙන් පහසුවෙන්ම තාප ශක්තිය පරිසරයට ගලා යයි.
පරිසරයට තාප ශක්තිය ගලා ගිය පසුව, ශීතකාරකයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සමාන වේ. දැන් කළ යුත්තේ පීඩනය නැවත අඩු කිරීමයි. එසේ පීඩනය අඩු කළ විට උෂ්ණත්වය පහළ යන බැවින් නැවතත් තාපය උරාගැනීමේ හැකියාව ශීතකාරකයට ලැබේ.

මේ ක්‍රියාවලිය නොකඩවා සිදු වීමෙන් ශීතකරණ පද්ධතිය හෝ වායුසමීකරණ පද්ධතිය ක්‍රියාත්මක වේ.
මේ විස්තරය ඔබට පැහැදිළි ඇතැයි සිතමි.

ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් දමන්න.

2012-12-09

වීදියේ බුදුහිමි

ශ්‍රී ලාංකීය ජන සමාජය අංග විකලත්වයට පත් කළ පිරිබාකරන් සහ ඔහුගේ ව්‍යාපාරය ආණ්ඩුවේ හමුදාවන් විසින් දෙවසරකට පමණ පෙර විනාශ ක‍රන ලදී. එසේ වුවද, එම ව්‍යාපාරය ඇති වීමට සහ වර්ධනය වීමට බල පෑ කරුණු විනාශ නොකරන ලද නිසා, නැවත පිරිබාකරන් වැන්නකු බිහි නොව‍නු ඇතැයි සහතිකයක් කිසිවකු විසින් ලබා දී නැත. තවද, පළමුවැනි පිරිබාකරන් බිහි වීමට ගත වූ කාලයට වඩා අඩු කාලයකින් දෙවැනි පිරිබාකරන් කෙනකු බිහි වීමට ඉඩකඩ වැඩි බව අප විසින් මතක තබා ගත යුතුය. එසේ වැඩි ඉඩකඩක් ඇත්තේ පළමුවැනි පිරිබාකරන් විසින් සපයන ලද උදාහරණ ඇති නිසාය.

මේ මාතෘකාවට පිවිසෙන්නට හේතු වූයේ අහම්බෙන් දක්නට ලැබුනු එක්තරා ලිපියකි. මේ ලිපිය ලියා ඇත්තේ දෙමළ ජාතිකයකු විසින් බවත්, ඔහු යම් කිසි දෙමළ ජාතිවාදී ව්‍යාපාරයක සාමාජිකයකු වියහැකි බවත් බැහැර කරලීමට නොහැකි වුවද, එම ලිපියේ සටහන් වී ඇති කරුණු එසේ පහසුවෙන් බැහැර කරලීමට‍ හැකි ඒවා නොවේ.

සිංහලයන් වැඩි දෙනකු අදහන්නේ බෞද්ධාගමය. එය වෙනත් අයුරකින් ප්‍රකාශ කළහොත් බහුතරයක් සිංහලයාගේ ආගම බෞද්ධාගමය. එහෙත් එයින් අදහස් වන්නේ බෞද්ධාගම සිංහලයාගේ බව නොවේ. මේ කතාවට උරණ වන්නන්ගෙන් ඇසීමට ඇත්තේ මෙරටට සියම් දේශයෙන්, රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව රැගෙන එන්නට සිදු වූයේ කුමක් නිසාද කියායි.

බුද්ධාගම හෝ බුදු පිළිම හෝ තමන්ගේ ආරක්ෂාව පිණිසත් ජාතියේ ආරක්ෂාව පිණිසත් යොදාගැනීම වූකලී බුද්ධාගමට කරන බරපතළ අවමානයකි. උඩරට දුම්රිය මාර්ගය වටවල දුම්රිය ස්ථානය ආසන්න ස්ථානයක නැවත නැවතත් සිදු වූ නාය යාම නවත්වාගැනීමට කර ඇත්තේ දුම්රිය මාර්ගය නාය යන ස්ථානයට පහළින් බුදු පිළිමයක් ගොඩනැගීම නොවේද? දැන් නාය යනවානම් දුම්රිය මාර්ගය නාය යාමට පෙර බුදු පිළිමය ඇති ස්ථානය නාය යෑමට භාජනය විය යුතුය. අපේ සිංහල බෞද්ධයන්ගේ තවත් සොයාගැනීමක් වන්නේ 2004 දෙසැම්බර් 26වැනිදා ඇති වූ සුනාමි ආපදාවේදී වෙරළබඩ තිබුනු බුදුපිළිම කිසිවකට හානියක් සිදු වුනේ නැති බවය. බුදු පිළිමය මෙසේ ජනප්‍රිය වන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ එම සංසිද්ධිය බව සිතීමට හැකිය.

කෙසේ වුවද, අද වන විට හන්දියක් ගානේ බුදු පිළිම ඉදි කරනු ලැබ තිබීම සුලබව දැකිය හැකිය. එම බුදු පිළිමය ඉදිරිපසින් කිසිවකු පාවහන් හෝ හිස්වැසුම් ගලවා ගමන් කරන්නේ නැති අතර කිසිදු අපරාධකරුවකු බුදු පිළිමය මග හැර යන්නේ නැති බවත් පැහැදිළිය. එනම් අපරාධකාරයා සියළු අපරාධ කරන්නේ බුදුපිළිමය ඉදිරිපසින් ගමන් කරමින් මය. බුදු පිළිමයට මුවා වීගෙන ය.

මීගමුව හෝ හලාවත පැත්තේ යනවිට හන්දියක් හන්දියක් ගානේ හමු‍ වන්නේ “සුරුවම්”ය. එනම් ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවන්ය. එයින් පිළිබිඹු වන්නේ එම පළාතේ ජනයාගේ ආගමික නැඹුරුවද, නොඑසේනම් වෙනත් යම් චරිත ලක්ෂණයක්ද කියා කීමට බෞද්ධයන්ට හැකිදැයි නොදනිමි. කෙසේ වුවත්, ඉස්ලාම් පල්ලියේ දවසට තුන් හතර වතාවක් ලවුඩ්ස්පීකර් බැඳගෙන කරන කටයුත්තම දැන් බෞද්ධ ආරාමවලත් කරන්නේ “අපිත් අපේ ආගම අදහනව යකෝ” කියා කියන්නට බැරි නිසාද, නැත්නම් බුදුරදුන් එසේ කරන්නටයැයි අනුදැන වදාළ නිසාද?.

මේ සිංහල බෞද්ධයන්ට කහවත්තේ කොටකෙතන පැත්තේ බුදුපිළිම ඉදිකරන්නට අදහසක් නැද්ද? කොටකෙතන ගමේ සිදුවන අපරාධ වලට වගකිවයුත්තේ සිංහල බෞද්ධයන් නොවන්නේයැයි තර්ක කරන්නට තවම කවුරුන් හෝ ඉදිරිපත් නොවීම විමතියට කරුණක් වන්නේ කලටක පෙර පැතිර ගිය “ග්‍රීස් යක්කුන්” බිහි වන්නේ රාමසාන් කාලයට බව තර්ක කරමින් ලියා තිබුනු හෑලි මතක් වන විටයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කළේ හේතු ඵල වාදී ධර්මයකි. එය අවිහිංසාව මුල් කරගත් ධර්මයකි. සමානාත්මතාව මත පදනම් වූ ධර්මයකි. ඒත් “සිංහල බුද්ධාගම”ට හේතු ඵල සම්බන්ධයක් නැත. හිංසාවෙන් හෝ එය රැකගන්නා බව එහි අයිතිකාරයන්නේ ප්‍රතිඥාවයි. සිංහලයා උසස් බව සිතන හෙයින් සමානාත්මතාවක් නැත. ආගම පතුරවන්නේ මුගුරෙන් හා අසිපතෙනි. එය තුළ අවිද්‍යාව ඉහළම මට්ටමෙන් නළියයි. ඔවුනට අනුව බුද්ධාගම පවතින්නේ පිළිම, දාගැබ්, බෝ ගස් පැවතුනහොත්ය. එයට මිනිසුන් අවශ්‍ය නැත. එම නිසා, සිංහල බුද්ධාගමත්, බුද්ධ ධර්මයත් එකක් නොව දෙකකි.

(මෙම ලිපිය 2012 දෙසැම්බර් 10 දින රාත්‍රී 10.00ට සංශෝධනය කරන ලදී. සංශෝධනය කළේ අකුරු පමණකි.මෙම සංශෝධනයේදී ශ්රී වැනි තැන් ශ්‍රී බවට පත් කැරිනි.)

2012-11-25

උපුටා ගැනීමකි - කතෘ අඥාතයි



උපුටා ගැනීමකි - කතෘ අඥාතයි
(මල් වඩම් අනවශ්‍යයි)

පිටරට ගිහින් ආපු ගමන් පොරක් වයිෆ්ගෙන් අහනවලු, “ඒක නෙවෙයි අනේ, මං නිකං පිටරට කෙනෙක් වගේද පේන්නෙ ඈං?”
“න්නැහ්, ඇයි ඔයා එහෙම ඇහුවෙ?”
“නෑ නෑ. මං ලන්ඩන් වල ඉන්නැද්දි එහේ ලේඩි කෙනෙක් එකපාරම මගෙන් ඇහුවනෙ මං පිටරටකින් ආවද කියල?”

සංචාරකයෙක් අහනවා ගැමියෙකුගෙන් මෙහෙම.
“මේ ගමේ කවුරුහරි ශ්‍රේෂ්ට පුදගලයෙක් ඉපදිලා තියනවද?”‍‍
“අපෝ නෑ... මෙහෙ උපදින්නෙ පොඩි බබාල විතරයි”

සම්මුඛ පරීක්ෂණයක දෙබසක් මෙසේය.
“දැන් මෙහෙම හිතන්න, ගොඩනැගිල්ලක තුන්වැනි තට්ටුවේ ඔබ සිටිද්දී එහි ගින්නක් ඇති වෙනවා. ඔබ කොහොමද පණ බේරාගන්නේ?”
“ඒක හරිම පහසුයි, මං මගේ සිතුවිල්ල වෙනස් කරගන්නවා”

තවත් සම්මුඛ පරීක්ෂණයක දෙබසක් මෙසේය.
ඔයා “MS Office දන්නවද?”
“නෑ, මට එතන ඇඩ්ඩ්‍රස් එක කිව්වොත් හොයාගෙන යන්න පුළුවනි”

2012-11-17

රතු වැස්ස

 
ලෝකේ වැඩියෙන්ම අමනයන් ඉන්න රට මොකක්ද?
ඒ අපේ ලංකාව නොවන බව නම් සහතිකයි. ලංකාවේ අධ්‍යාපන මට්ටම සහ සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව ප්‍රසිද්ධ කාරණයක්. ඒත්, දැන් දැන් මේ රටේත් සෑහෙන අමනයන් සංඛ්‍යාවක් ඉන්නවාදැයි කියලා සැකයක් මතුවෙනවා.
මේක පළවෙනි සැකය.
ඒ ගැන ලිපියක් මං මේ බ්ලොග් සඟරාවෙ පළ කළා.
මේක නැවත වරක් ඉස්මතු වුනේ අද දිවයින පත්තරේ යන ලිපියක් දැකීමෙන්. (ඉරිදා දිවයින සෙනසුරාදාට බලන්න පුළුවන් බව කවුරුත් දන්නව නේද?)
ඊයේ පෙරේදා මොනරාගල අම්පාර පළාත් වලට රතු පාටට වැස්සක් වැටුනලු. මේක ගැන විවිධ මතවාද ඉස්මතු වෙන එක ස්වාභාවිකයි. ඒත් විද්‍යාත්මක වේශයෙන් මතවාද ඉදිරිපත් කරන්න ඉස්සරවෙලා මේවා ගැන ඉවසීමෙන් සොයා බැලීම වැදගත් නේද?
මේ බලන්න මේ ලිපියත් මේ ලිපියත්.
මොකක් හරි සිද්ධියක් වුනාම ඒ ගැන කතන්දර නිර්මාණය කරන්න ඉස්සර වෙලා වුනේ මොකක්ද කියල හොයල බලන පුරුද්ද අපි ඇති කරගත යුතුමයි.
එහෙම නැත්තං මේ කපටි රැළක් එකතු වෙලා ලංකාව එක්කෝ මහායාන බුද්ධාගම කරා ගෙන යාවි. නැත්තං පහුගිය තිස් අවුරුද්ද අමතක වේගන එනකොට තවත් තිස් අවුරුද්දක් හෝ හැට අවුරුද්දක් දුක් විඳින්න ක්‍රමයක් ‍සෙට් කරාවි.

2012-11-03

ඩ්‍රයිවින් නොදන්න අයට - දන්න අයත් බැලුවට කමක් නෑ (17+)



ලංකාවෙ මහාමාර්ග පද්ධතිය දැන් ඉස්සරට වඩා ගොඩක් සංවර්ධනය වෙලා. තවමත් සංවර්ධනය නොවුනු මාර්ග නැතුවා නෙවෙයි. ඒත් ඒවාත් අද හෙටම වැඩි දියුණු කරන බවට තැනින් තැන පාර මැද කහපාට කතිර සළකුණු පෙන්නුම් කරනවා. මේ කතිර සළකුණු දමන්නේ ඒ පාරේ උස මට්ටම සහ දිග පළල මැනීමෙන් පස්සෙයි. ඉතින් එහෙම මැනලා ඒවා නිකන් තියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ.

මහා මාර්ග පද්ධතිය සංවර්ධනය වීමත් එක්කම අපට අහන්න ලැබෙන්නේ රථ වාහන අනතුරු ප්‍රමාණයත් වර්ධනය වෙලා තිබෙන බවයි. ඉතින් මේකට වැරදි කාරයන් වන්නේ රථ වාහන රියදුරන්ය කියන කතාව එකහෙළාම පිළිගන්න බැහැ. එහෙම වුනත්, අපේ රටේ වාහන පදවන සමහර අය රිය පැදවීම හරියාකාරව ප්‍රගුණ කරල නැති බව නම් නොකියාම බැරි කාරනාවක්.

මහා මාර්ගයේ නීති රීති තියෙන්නෙ සුදු පටි රාළහාමිලාට ගානක් හොයාගන්න නෙවෙයි. ආණ්ඩුවට දඩ මුදල් වලින් ආදායමක් ලබාගන්නත් නෙවෙයි. පාරෙ යන පදිකයන් සහ වාහන වලින් යන මගීන් යන සියලුම දෙනාගේ ආරක්ෂාව සඳහා තමයි මේ නීති වැඩිහරියක් පනවලා තියෙන්නෙ. ඒ වුනත්, ඒ නිති රීති ගැන අවබෝධයක් ඇතුව රථ වාහන පදවන්නෙ කීයෙන් කී දෙනාද කියල පාර අයිනට වෙලා පොඩ්ඩක් බලා හිටියොත් පේනවා.

මේ නීති රීති අනුගමනය කරන එක හුදෙක්ම පොලීසියෙන් බේරීම සඳහා පමණක් කරන එකයි වැරැද්ද වෙලා තියෙන්නෙ. දැන් බලන්න කල්පනා කරල සමහර නීති නොසළකා හැරීම නිසා සිද්ද වෙන පාඩු මොනවද කියල.

බොහෝ දෙනෙක් තකන්නේම නැති එක නීතියක් තමයි පාරෙ ඇඳල තියෙන කහපාට කොටු දැළ. මේක ඇඳල තියෙන්නෙ ඒක උඩ වාහනයක් නවත්තගෙන ඉන්න එපා කියන්නයි. මේ නීතිය පොලිස් කාරයෝ ගනන් ගන්නෙත් නෑ, රියැදුරෝ ගණන් ගන්නෙත් නෑ. ඒකෙන් වෙන්නේ වාහන තදබදය වැඩි වෙන එක විතරයි. පුධාන පාරට හරස් පාරක් සම්බන්ධ වෙන තැන්වල තමයි මෙහෙම කොටු ඇඳල තියෙන්නෙ. අපේ රියැදු‍රු මහත්තුරු කරන්නෙ පාර ඉස්සරහට අවහිර වෙලා තියනවනම් යන්න පුළුවන් උපරිම දුරක් ගිහින් නවත්තන එක මිසක් එතන කොටු තියනවද රවුම් තියනවද කියල බලන එක නෙවෙයි. ඉතින් මොකද වෙන්නෙ, අර හරස් පාරට හරවන්න හිතාගෙන අනිත් පැත්තෙන් එන වාහනය, හරස් පාර ළඟදි නවත්ත ගන්නවා. එයාට හරවලා යන්න බැහැනෙ. ඉතින් එයාට පිටි පස්සෙන් ආපු වාහන වැළම නවතිනවා. මේකෙ ප්‍රතිපලයක් විදිහට සමහරවිට ඊ ළඟ ප්‍රධාන මංසන්ධියත් අවහිර වෙන්න පුළුවනි.

අනිත් කාරණාව තමයි, පාර බදු අරගෙන ගමන් කිරීම. මේක කරන්නේ බොහෝ විට මෝටර් සයිකල්, බයිසිකල් හා ත්‍රී රෝද රථ පදවන්නන් බව නොකියාම බැහැ.

අපේ ත්‍රී රෝද රථ රියැදුරන් කරන තවත් බරපතල වැරැද්දක් තමයි, එක පැත්තට මං තීරු දෙකක් හෝ තුනක් තියන මහා මාර්ගයකදී, මං තීරු වෙන් කරන කඩ ඉර දිගේ ගමන් කිරීම. එතකොට එළිපත්ත උඩ ඉන්න බළල වගේ. ඒ කියන්නෙ ගේ ඇතුළට පනියිද නැත්තන් මිදුලට පනියිද කියල කියන්න බෑ. ඉතින් එහෙම වෙලාවට අනිත් රියැදුරන්ට සිද්ද වෙන්නෙ හෙමින් සැරේ පස්සෙන යන්නයි.

ප්‍රධාන වශයෙන් කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය ව‍ගේ අඩු පළලකින් යුක්ත මාර්ගයකදී දකින්න පුළුවන් සුලබ දර්ශනයක් තමයි, වාහන පේලියක් කෝච්චියක් වගේ ගමන් කිරීම. මෙහෙම වෙන්නෙ, මේ කෝච්චියේ එන්ජිම වගේ ඉස්සරහින්ම යන වාහනය හෙමින් සැරේ ගමන් කිරීම නිසයි. විශේෂයෙන්ම ලොරියක් වගේ වාහනයක් පස්සෙන් ඒ විදිහට වාහන පේළියක් හැදෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. පාර පටු නිසාත්, ලොරිය සෑහෙන පළලකින් යුක්ත නිසාත්, කාටවත් ඉස්සර කරගෙන යන්න විදිහක් නැහැ. ඒත් සමහර වෙලාවට මෙහෙම ඉස්සරහින් යන්නේ ත්‍රී වීල් එකක් බව දැක්කහම, ත්‍රී වීල් එක එළවගෙන යන එක්කෙනා කිසිම ලැජ්ජාවක් නැතුව වාහන පහළොවක් විස්සක් පෝලිමේ එන්න දීලා පාර අවහිර කරගෙන හෙමින් ගාටන හැටි දැක්කම මොනවද නොහිතෙන්නෙ.

මේ ගැන ලස්සන විස්තරයක් බලන්න පුළුවනි

තව කතන්දර ඉස්සරහට කියන්නම්

2012-10-07

අළුත් මිනුම් දණ්ඩක්


ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා අපි ගායනා කරනවනෙ. එහෙම කිව්වට වැඩියෙන්ම උතුම් මොකක්ද කියල හොයාගන්න තියන මිනුම් දණ්ඩ මොකක්ද කියල ඔබ දන්නෙ නැහැ නේද? උසම කන්ද, විශාලතම රට ‍වගේ දේවල් දැනගන්න පුළුවන් උස, වර්ගඵලය (ඉඩම් ප්‍රමාණය) වගේ දේවල් මනින්න පුළුවන් නිසා. මනින්න අමාරු දේවල් තමයි, ලස්සන, දක්ෂකම වගේ ගති ලක්ෂණ. ඒ නිසා ඒකට පැනල් එකක් එහෙම නැත්තං කීප දෙනකුගෙන් යුක්ත විද්වත් මණ්ඩලයක් පත් කරගෙන ඔවුන්ගේ පොදු අදහස් අනුව තමයි තීරණය ගන්නේ. රූප රැජිණි තෝරන්න, සුපර් ස්ටාර් තෝරන්න එහෙම අනුගමනය කරන ක්‍රම වේදය ඒකයි. ඒත් ඒ වගේ තැන් වලදී ලැබෙන තීරණය නිරපේක්ෂවම නිවැරදි තීරණයක් කියලා කියන්න බැහැ. සාමාන්‍ය පිළිගැනීම අනුව විද්වත් මණ්ඩලයේ තීරණය පිළිගන්නවා. ඒත්, හොඳම නවකතාව හෝ නාට්‍යය තෝරපුවහම ඒ ගැන විවිධ වාද විවාද ඇති වෙන්නේ මේ ප්‍රශ්නය නිසායි.

ඒ වුනත් උතුම් බව පහසුවෙන්ම හොයන්න පුළුවන් අළුත් ක්‍රමවේදයක් කවුදෝ හොයාගෙන තියනවා.
මේ බලන්න මේ ලිපිය-
මේක ලියල තියෙන්නේ අපි වගේ අති පණ්ඩිත උන්දැ කෙනෙක් නෙවෙයි වෙන්න ඕනැ. මං හිතාගෙන හිටියෙ ලංකාවේ මේ වගේ මිනිස්සු අඩු ඇති කියලයි.



This is a post I extracted from facebook. I don't know whether this really true or not but i found this quite fascinating. I asked my husband who is a physicist about this.  He said this is possible. However, found a youtube link from the comments as well.  
http://www.youtube.com/watch?v=d4E5T9PSbo0


ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල.
යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක

් නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකාවක නිර්මාණය වන ආකාරයයි.
 

දෙවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

තැන්වන රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.


හතරවන සහ පහ රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.


හයවන රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්‍රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.
 

ඒ ගුරුත්ව බල නිරීක්ෂණය අනුව වතිකානුවේවත්, මක්කමවත් කිසිම ලකුණක් පෙනෙන්න තියෙනවද? නෑ නේද ? බලන්න යාලුවනේ මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්‍යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.
මේකත් සමහරු තමන්ගෙ වාසියට හරවාගෙන කියනව බුදු හාමුදුරුවො අපේ රටේ ඉපදුන නිසාලු මේ තරම් විශ්ව ශක්තියක් නිකුත් කරන්නෙ. ඒ අසරණයින්ටත් අපි අනුකම්පා කරනව හැර මොන කරන්නද?

දැන් ඉතින් පණ්ඩිත උන්දැල මේකෙ අඩුපාඩු හොයයි. තමන් අයියවෙන්න උතසාහ කරයි. මේක අපි කලින් කීවනම් හොදට බැණුම්. දැන් නාස එතකන් කියපු නසා අඩුපාඩු කියල බැණුම්. මේව තමයි පෘතග්ජනයන්ගෙ වැඩ.